පන්දුවක් හිසේ වැදී අවාසනාවන්ත අකල් මරණයකට ගොදුරු වූ ඔස්ට්‍රේලියානු ආරම්භක වමත් පිතිකරු ෆිල් හියුස් දිවියෙන් සමුගෙන මේ වනවිට වසර තුනකටක් වැඩිය. හියුස් දිවියෙන් සමුගත් එම ෂෙෆින් ෆීල්ඩ් තරගාවලියේ ඊයේ (04දා) පැවැති තරගයකදී හියුස්ගේ දැවී යාම සිහිගන්වමින් වික්ටෝරියානු ප්‍රාන්ත කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙකු වන 20 හැවිදිරි විල් පුකොව්ස්කිද පන්දුවක් හිසේ වැදී රෝහල වෙත රැගෙන ගියේය.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ පුකොව්ස්කිට මෙම පන්දුවද යොමු කළ පන්දු යවන්නා වූයේ, ෆිල් හියුස්ට මරු කැඳ වූ පන්දු යවන්නා වූ නිව් සවුත්වේල්ස් කණ්ඩායමේ ෂෝන් ඇබට් වීමයි.
සිතාමතා යොමු නොකළත්, හියුස්ට එම අවාසනාවන්ත පන්දුව යොමු කිරීමෙන් කලක් දැඩි කනස්සල්ලට පත්ව සිටි ෂෝන් ඇබට්ට මෙම සිදුවීමද මනසට දැඩි වේදනාකාරී විය. මෙහිදී ඔහු, විල් පුකොව්ස්කිව වෛද්‍ය කණ්ඩායම විසින් රැගෙන යනවිට මහත් වේදනාවෙන් ඒ දෙස බලා සිටිනු දක්නට ලැබුනු අතර, වේදනාව දරාගනු නොහී ඔහු හඬනු දක්නට ලැබිනි. කෙසේ නමුත් විල්ගේ තත්ත්වය බරපතළ නොවන බව මෙල්බර්න් නුවරින් වාර්තා වේ.
මෙය ෆිල් හියුස්ට තරම් ඉහළින් එල්ල කළ පන්දුවක් නොවුනද, පිතිකරු පන්දුව මගහැරීමට පහත් වීමත් සමග මෙම අනතුර සිදු විය.
දකුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි ෆිල් හියුස්ද මෙම තරගාවලියේ පසුගිය 2014 වසරේ නොවැම්බර් මසදී පන්දුව හිසේ වැදී දිවියෙන් සමගත් අතර, එය එතෙක් මෙතෙක් ක්‍රිකට් ලොව කැළඹූ මරණයක් විය.