පාපන්දු ලොව වත්මන් ගෝල මැෂින් ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ ලයනල් මෙසී, ලුවිස් සුවාරේස් හා නේමාර්ගේ තවත් විශ්මිත දස්කමක් පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ. ඒ මෙම වර්ෂයේදී (2015) ඔවුන් තිදෙනා එක්ව වාර්තා කර ඇති සමස්ත ගෝල සංඛ්‍යාව අබිබවා යාමට බාසිලෝනාව හැර අනෙක් කිසිදු කණ්ඩායමක් මේ දක්වා සමත් නොවීමයි.
එහිදී බාසිලෝනාව සමස්ත ගෝල 160 ක් රැස් කරමින් මේ වසරේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ කණ්ඩායම බවට පත් වෙද්දී ඉන් 125ක්ම මෙම ප්‍රහාරක ක්‍රීඩකයන් ත්රිත්වයෙහි නම ඉදිරියෙන් සනිටුහන් වී තිබීම විශේෂත්වයකි. එය මෙහි දෙවැනි ස්ථානය හිමි කරගත් ජර්මනියේ බයර්න් මියුනිච් කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව (125) සම කිරීමකි. ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (ගෝල 124) මෙහි තෙවැනි ස්ථානයේ පසු වේ.
කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායම මෙම වසරේ රැස් කර ඇත්තේ ගෝල 112 ක් පමණි. ඔවුන් මෙම සටහනේ පස්වැනි ස්ථානයේ පසු වේ. එංගලන්ත ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් මෙම සටහනේ පෙරමුණ මැන්චෙස්ටර් සිටි (ගෝල 92) හිමි කරගෙන ඇත.
කෙසේ වෙතත් බාසිලෝනාවේ ඉහත ක්‍රීඩකයන් අතරින් තනි ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව වන 44 රැස් කරගෙන ඇත්තේ ආර්ජන්ටිනා සුපිරි තරුව වන ලයනල් මෙසීය. හෙතෙම ආබාධයක් හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් පිටියෙන් ඉවත්ව සිටියද මෙම වාර්තාවට හිමිකම් කීම විශේෂත්වයකි. මෙසීට පසු නේමාර් (41) ක් හා සුවාරේස් (40) ඉතිරි ගෝල රැස් කරගෙන ඇත.