ශ්‍රී ලංකාවේ 13 වැනි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පසුගිය සඳුදා (07දා) වැඩ භාරගත්තේය. වැඩ භාරගනිමින් ජයසේකර මහතා පවසා සිටියේ තමාට හිමි වූ මෙම අමාත්‍ය ධුරය උගුලක් හා තමා පිළිබඳව කරන පරීක්ෂණයක් ලෙසයි. මෙදින වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි වසර දෙකක කාලය තුළ ඉටුකළ හැකි කාර්යය පිළිබඳව අවධානය යොමු කරන බවයි. එමෙන්ම ජාතික ක්‍රීඩාවේ හිමිකරුවා ලෙස ලබාදුන් මෙම වගකීම පැහැර හැරියහොත් එය සිය දේශපාලන දිවියේ අවසානය වනු ඇති බවත් හෙතෙම පිළිගනු ලැබීය.
කබඩි, මීටර් 100, මීටර් 200, කවපෙත්ත හා වොලිබෝල් වැනි ක්‍රීඩා ඉසව් ගණනාවක දක්ෂතා දක්වා ඇති නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ පළමු රාජකාරිය ලෙස තෝරාගත්තේ ටොරින්ටන් ක්‍රීඩාංගණය හා ඒ අවට තිබෙන ජාතික ක්‍රීඩා විද්‍යායතනය, ජාතික ක්‍රීඩා පුස්තකාලය, ක්‍රීඩා නේවාසිකාගාරය, ශරීර සුවතා මධ්‍යස්ථානය සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකය යන ආයතන නිරීක්ෂණය කර එහි අඩුපාඩු සොයා බැලීමය. ජාතික ක්‍රීඩාවේ අනාගත වෙනුවෙන් මෙවැනි සොයාබැලීමකින් සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් ප්‍රගතශීලී තීරණය අගය කළ යුතුය.
ඉන් අනතුරුව පෙරේදා (09දා) දිනයේ ඔහු සිය දෙවැනි රාජකාරිය ලෙස කොළඹ සුගතදාස ක්‍රීඩා පාලන අධිකාරිය සතු එළිමහන් ක්‍රීඩාංගණය හා එම අධිකාරිය සතු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිතර විය. එම චාරිකාවේදී මේ වනවිට ලණු පැඳුරකටත් වඩා දුර්වල වී තිබෙන සුගතදාස ධාවන පථය අමාත්‍යවරයාගේ වැඩි අවධානයකට ලක්වූ අතර, ධාවන පථයට පය තැබූ මොහොතේම ඔහු පවසා සිටියේ "මෙහි දුවනවාට වඩා හොඳයි තණකොල්ලේ දුවනවා" කියාය. එහිදී මෙම ස්ථානයට පැමිණ සිටි ධාවන පථයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ පාර්ශ්වය සමගද සාකච්ඡා කළ අතර, එහිදී ඉදිකිරීම් කටයුතු සිදුකළ සමාගමට තදින් පවසා සිටියේ ධාවන පථයේ නැවත එළීමේ කටයුතු වහාම සිදුකළ යුතු බවත්, ඒ සඳහා රජයේ පාර්ශ්වයෙන් කිසිදු ගෙවීමක් සිදුනොකරන බවත්ය.
මීට පෙර දින 100 ආණ්ඩුවේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක මහතාද එම කාලසීමාවේ සුගතදාස ධාවන පථයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී දිසානායක මහතාද පවසා සිටියේ වහාම මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන බවයි. කෙසේනමුත් දින 100 ආණ්ඩුව දැන් අවසන්ව ඇති අතර, නවීන් දිසානායක මහතා කටයුතු කරන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසය. ඒ හේතුවෙන් දැන් ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතු සඳහා මැදිහත් නොවේ. දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වන්නට පෙර 2012 වර්ෂයේ සිට එවකට සුගතදාස ධාවන පථය අලුතින් ඉදිකරන විටත් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. අලුත්ගමගේ මහතාද මෙලෙසින්ම මාධ්‍යවේදීන් කැඳවා සුගතදාස ධාවන පථයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කෙසේවෙතත් මිලියන 113ක ඇස්තමේන්තුවක් යටතේ අලුතින් එළනු ලැබූ (ඉදිකළ) ධාවන පථයට අත්වූ ඉරණම වෙනුවෙන් ඍජු තීරණයක් ගැනීමට කිසිඳු අමාත්‍යවරයෙකු ඉදිරිපත් නොවීය. එමනිසා වත්මත් ක්‍රීඩා අමාත්‍යවරයාද සුගතදාස ක්‍රීඩාංගණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව හුදු මාධ්‍ය සංදර්ශනයක් නොවී ක්‍රීඩාවේ ඉදිරි යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. මන්ද මෙය පිළිසකර වනතුරු තවත් පරපුරක් මගබලා සිටින බැවිනි.