සත් සාමාජික රග්බි දෙවැනි අදියර තායිලන්තයේදී
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර අද (26දා) තායිලන්තයේ බැංකොක්හිදී ආරම්භ වන අතර, එය හෙට (27දා) දක්වා පැවැත්වේ.මෙම අදියර සඳහා කණ්ඩායම් 12 ක් ඒ, බී, සී හා ඩී ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වදින අතර, ශ්‍රී ලංකාව එහිදී සහභාගී වන්නේ බී කාණ්ඩය යටතේය.
තරගාවලියේ පළමු දිනයේදී කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව කුසලාන, පළඟ හා බඳුන අංශ සඳහා දෙවැනි දින තරග වැදීමට නියමිතය.
තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (24දා) උදෑසන දිවයිනෙන් පිටත් වූ අතර, ආබාධයක් හේතුවෙන් පළමු අදියර සඳහා සහභාගි නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ෆාසිල් මරීජාද මෙම තරගාවලිය සඳහා සහභාගි වේ. ඔහුට අමතරව පළමු අදියරට ක්රීඩානොකළ දිනූෂ චතුරංග හා නයිජල් රත්වත්ත වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා ජේසන් දිසානායකද මෙම අදියර සඳහා සහභාගි වෙති.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩක ආදේශනය නිසා පසුගිය අදියරේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලවංග පෙරේරා, දුලාජ් පෙරේරා, හිරන්ත පෙරේරා හා සඳුන් හේරත්ට මෙවර සංචිතයේ දොරගුළු වැසී ඇත. සුපුරුදු පරිදි කණ්ඩායමේ කළමනාකාරිත්වය රොහාන් චින්තක වෙත හිමි වී ඇත.
ෆාසිල් මරීජා
මෙවර තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ෆාසිල් මරීජා පැවසුවේ, තරගාවලිය සඳහා තමන් පූර්ණ ශාරීරික යෝග්‍යතාවකින් පසුවන බවත්, පසුගිය තරගාවලියට සහභාගි වූ සංචිතයට සාපේක්ෂව මෙවර කණ්ඩායම වඩා අත්දැකීම්වලින් පරිපූර්ණ බවත්ය.
එමෙන්ම මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම පූර්ණ කැපවීමක් දැරූ බවත්, පසුගිය තරගාවලියේදී දුර්වලව පැවැති ආරක්ෂක (Defense) ක්‍රීඩා රටාව පිළිබඳ වඩාත් අවධානයක් යොමු කළ බවත් මෙහිදී ඔහු අප වෙත පැවසුවේය.
අදියර තුනකින් යුත් ආසියානු සත් සාමාජික තරගාවලියේ (පිරිමි) පළමු අදියරෙහි ලබා ගත් ලකුණු සංඛ්‍යාව අනුව ජපානය මේ වනවිට ප්‍රසාද ලකුණු 12 ක් ලබා පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාව එහි (ප්‍රසාද ලකුණු 9) දෙවැනි ස්ථානයේ පසුවේ. මෙහි තෙවැනි හා අවසන් අදියර ඔක්තෝබර් 10, 11 දින වලදී කොළඹදී පැවැත්වෙන අතර, අවසන් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ එම අදියර ත්රිත්වයන්ගෙන්ම ලබා ගන්නා ප්‍රසාද ලකුණුවලට අනුවය.
කෙසේ වෙතත් හෙට (26දා) ආරම්භ වන මෙම අදියරේ කාන්තා තරග නොපැවැත්වෙන අතර, කාන්තා අංශයේ දෙවැනි හා අවසන් අදියර එළඹෙන ඔක්තෝබර් මස 10, 11 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

