සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (03දා) වෙලින්ටන්හි බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පළමු තරගය නවසීලන්තය ජයගැනීම හේතුවෙන් ඔවුන් මේ වන විට 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවෙයි. ඒ අනුව හෙට පැවැත්වෙන තරගය ජයගැනීම හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය 1-1ක් ලෙසින් නිමකර ගැනීමට අවස්ථාව හිමිවේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට මූලිකම හේතුව විය. එසේම දිමුත් කරුණාරත්න එම තරගයේ දෙවැනි ඉනිමේදී රැස්කළ ශතකය හේතුවෙන් ලජ්ජාවෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
එම තරගයේදී ඩිල්රුවන් පෙරේරා වෙනුවට යොදාගත් නවක ක්‍රීඩක තරිඳු කෞෂාල්ගේ දක්ෂතාව මැකලම්ගේ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් වැසී ගියේය. එහෙත් එසේ වී යැයි කියා තරිඳු පැත්තකට කර දැමීම නුවණට හුරු නොවේ. ඒ අනුව හෙට තරගයේදීද ඔහුට අවස්ථාවක් ලැබේයැයි විශ්වාස කළ හැකිය.
ආබාධයක් හා පෞද්ගලික හේතුවක් නිසා පළමු ටෙස්ට් තරගය එක්නොවූ ශ්‍රී ලංකාවේ අංක එකේ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් මේ වනවිට නවසීලන්තයට ගොස් සිටින හෙයින් ඔහු අනිවාර්යයෙන්ම අද තරගයේදී ශ්‍රී ලංකා සංචිතයට එක්වෙනු ඇත. එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සහනයක් මෙන්ම කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රබල අවස්ථාවක්ද වෙයි. ඔහු කණ්ඩායමට ඇතුළත් කරගන්නේ නම් හා තරිඳු මේ තරගයටත් යොදා ගනී නම් වේග පන්දු යවන්නෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට ඉඩ තිබේ. ඒ අනුව බොහෝ විට ධම්මික ප්‍රසාද්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට ඉඩ තිබේ.
ඡායාරූපය - ශාන්ත රත්නායක
සුරංග ලක්මාල් හා ශාමින්ද එරංග වේග පන්දු යවන්නන් ලෙස මෙම තරගයට යොදාගත්තොත් නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් වේගපන්දු යවන්නන් තිදෙනෙක් හා රංගන - තරිඳු යන දඟපන්දු යවන්නන් දෙදෙනා සමග තරගයට අවතීර්ණ විය හැකිය.
පළමු තරගයේදී නිරෝෂාන් දික්වැල්ල යොදාගත්තත් ඔහුට දක්ෂතා දැක්වීමට නොහැකිවිය. ඒ අනුව මෙම තරගයේදී නිරෝෂාන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට වැඩි ඉඩක් පවතියි. ඔහු වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට එක්වෙතැයි අනුමාන කළ හැකිය. අනෙක් අතින් නවසීලන්ත තණතීරු දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම වෙනුවෙන් යමක් කළ හැකි තණතීරුද වෙයි.
අප පළමු තරගයේදී සඳහන් කළ පරිද්දෙන්ම මෙම තරගයේදී කුමාර් සංගක්කාරගේ සාර්ථකත්වය කණ්ඩායමට අවශ්‍යයම වෙයි. මහේල නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම වසර 17කට පමණ පසුව තරග කරන පළමු තරගාවලිය මෙය විය. එහිදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිදුකළ මෙහෙය මෙම තරගාවලියේදී සංගාට පැටවී තිබෙන බව අපි කීවෙමු. සංගා පළමු තරගයේදී සාර්ථක නොවූ අතර එනයින්ම ශ්‍රී ලංකාවට පරාජය වැලඳගැනීමට සිදුවිය. ඒ අනුව මේ තරගයේදීවත් සංගා දිගු ඉනිමක් ක්‍රීඩා කළයුතුම වෙයි. මැතිව්ස් ගැන කීමට දෙයක් නැත. ඔහු තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටියි. ළහිරු තිරිමාන්න හා ප්‍රසන්න ජයවර්ධන ලකුණු අතරට පැමිණීමද අත්‍යවශ්‍යම කරුණකි. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමක් වෙනු ඇත.
නවසීලන්ත කණ්ඩායම දෙසින් බලන්නේ නම් නායක බ්‍රෙන්ඩන් මැකලම් මෙම තරගයේදී පාලනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්දයත් මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවැති තරගයේදීද ඔහු ත්‍රිත්ව ශතකයක්ද රැස්කර තිබේ. ඒ අනුව මෙම තරගයේදීද මැකලම් සාර්ථක වීමට වැඩි ඉඩක් පවතියි. ඔහුට අමතරව කුරේ ඇන්ඩර්සන් මෙන්ම බී.ජේ. වොට්ලින්ද එම තරගයේදී ශතක රැස්කර තිබේ. නවසීලන්ත කණ්ඩායම පළමු තරගයට නම් කළ සංචිතයේ එක් වෙනසක් සිදුකර තිබේ. ඒ ගැහැම් බ්‍රවුන්ලී වෙනුවට හමීෂ් රදර්ෆෝඩ් නම් කිරීමයි.