ලෝක ක්‍රිකට් පිටියේ ජනාදරයට පත්ව සිටින කුමාර් සංගක්කාර, ලන්ඩනයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ විසින් සිදුකළ විශේෂාංගයක් යටතේ, මේ දක්වා ක්‍රිකට් පිටියේ ඔහු දුටු විශිෂ්ටයන් තෝරා ලෝක ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට කටයුතු කළේය.
සංගක්කාර නම් කළ කණ්ඩායම් එම ක්‍රීඩා සමාජයේ වේබ් අඩවිය ඊයේ (28දා) එළිදැක්වීය. රටවල් හයක ක්‍රීඩක එකමුතුවෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම සඳහා වත්මන් ක්‍රිකට් පිටියේ සිටින කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත් වී නොමැති වීම විශේෂත්වයකි. සංගක්කාර විසින් මෙම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වායි.
එහිදී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් හා ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් නම් කර ඇති අතර, අංක 03 පිතිකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා නම් කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට සිය සංචිතයේ ස්ථාන වෙන් කිරීමට සංගක්කාර කටයුතු කර තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි.
කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්, ශ්‍රී ලංකාවේ ආරවින්ද ද සිල්වා ඔහුගේ මනාපයට නතු වී ඇත. එමෙන්ම මෙහිදී දකුණු අප්‍රිකාවේ ජැක් කලිස්ට තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානයද, ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්රිස්ට්ට කඩුලු රකින්නාගේ ස්ථානයද හිමිව ඇත.
බොහෝ දෙනාගේ අවධානය දිනාගත් පන්දු යැවීමේ අංශයේ පිට දඟපන්දු යවන්නා ලෙසින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තෝරාගෙන ඇති අතර, ඔහු හා සමකාලීන ක්‍රිකට් පිටියේ අනෙක් දඟ පන්දු භීතිකාව වූ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් කණ්ඩායමේ පාදඟ පන්දු යවන්නා වේ. එමෙන්ම කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙසින් සැලකෙන චමින්ද වාස් හා පාකිස්තානයේ වසීම් අක්රම් රැඳී සිටිති.
කෙසේ නමුත් ලොව හොඳම පිතිකරුවෙකු ලෙසින් විරුදාවලිය ලත්, ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණුලාභියා වන සචින් තෙන්ඩුල්කාර් මෙන්ම, පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්වූ ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්ට, සංගාගේ ක්‍රිකට් පිටියේ සගයා වෙන මහේල ජයවර්ධනට කණ්ඩායමේ ඉඩක් වෙන් නොවීම බොහෝ දෙනෙකුගේ විමතිය දනවන්නක් වී ඇත.
නමුත් තමන් නම්කළ කණ්ඩායම පිළිබඳ අදහස් දක්වමින් සංගක්කාර පවසන්නේ, පළමු පන්දුවට මුහුණදීමට සමත්කමක් දක්වන්නන් අතරින් තමන් මුල් ස්ථානය මැතිව් හේඩ්න්ට ලබාදෙන බවයි.
කෙසේ නමුත් සංගක්කාර අවසන් වශයෙන් පවසනුයේ, මේ වනවිට ක්‍රිකට් පිටියේ රැඳී සිටින පිතිකරුවන් අතරින් ඉන්දියාවේ විරාත් කෝලිට ඉදිරියේදී මෙම ලැයිස්තුවට ඇතුළත් වීමේ හැකියාවක් පවතින බවයි.