මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (28දා) පැවැති පළමු තරගයෙන් ජැක් කලිස් (දකුණු අප්‍රිකාව) නායකත්වය ලබාදෙන ලිබ්රා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 78 ක ජයක් ලැබීමට විරේන්ද්‍ර ශෙවාග් (ඉන්දියාව) නායකත්වය ලබාදෙන ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම සමත්විය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 234 ක් රැස්කිරීමට සමත්විය.
මෙම කණ්ඩායමට ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර පන්දු 43කදී වේගවත් ලකුණු 86 ක් රැස්කළේය. සංගාගේ ඉනිමට හයේ පහර 07ක් හා හතරේ පහර 06ක් අන්තර්ගත විය. ඔහුට අමතරව රෙචඩ් ලෙවී (දකුණු අප්‍රිකාව) පන්දු 43කදී ලකුණු 62 ක් හා බ්‍රැඩ් හොජ් පන්දු 19කදී නොදැවී ලකුණු 46 ක් රැස්කිරීමට සමත්විය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ලිබ්රා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණි. එම ඉනිමේ ඉහළම ඉනිම ක්‍රීඩාකළ රයන් ටෙන් ඩෙස්චාට් (නෙදර්ලන්තය) ලකුණු 53 ක් රැස්කළේය.
ඇරබියන්ස් කණ්ඩායමට ක්‍රීඩාකළ මුත්තයියා මුරලිදරන් සිය පන්දුවාර 04 තුළදී ලකුණු 27කට කඩුලු 02 ක් දවාලීය. ඊට අමතරව කයිල් මිල්ස් (නවසීලන්තය), නවීඩ් අල් හසන් (පාකිස්තානය) කඩුලු දෙක බැගින් දවාලීය.
තරගයේ වීරයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන දිනාගත්තේය.
මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති ක්‍රීඩකයෝ ක්‍රීඩා කරති.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව