දේශීය හා විදේශීය තරගකරුවන් 2000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වන ලංකාවේ ප්‍රථම වරට සංවිධානය වන අල්ට්රා රන් මාර්ග ධාවන තරගාවලියක් එළැඹෙන 27 වැනිදා පෙරවරු 5.00 ට අනුරාධපුරයේදී ආරම්භ වීමට නියමිතය. කිලෝමීටර 50ක දුරකින් යුත් මෙම ධාවන තරගාවලිය 'ඓතිහාසික අනුරාධපුර අල්ට්රා රන් කිලෝමීටර් 50 මාර්ග ධාවන තරගාවලිය', ලෙස නම් කර ඇති බවත්, එය මෙරට සංවිධානය කිරීමට ජාත්‍යන්තරයෙන්ද අනුමැතිය හිමිව ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයලාල් මහතා,
“ලංකාවේ පළමු වරට තමයි මෙවැනි තරගාවලියක් සංවිධානය ෙවන්නේ. මෙය සංවිධානය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයයි. මෙම තරගාවලිය පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඊට අමතරව නෙස්ටමෝල්ට් අනුග්‍රහයත් තරගාවලියට හිමි වෙනවා. තරගාවලිය සඳහා 26 වැනිදා පෙරවරු 10.00ට අපි ලියාපදිංචි කටයුතු සිදුකරනවා. දේශීය ක්‍රීඩකයන්ව අපි තරගාවලියට සහභාගි කරගන්නේ නොමිලේ" යැයි පැවසීය.
අනුරාධපුර අල්ට්රා රන් මාර්ග ධාවන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ ආධුනික මැරතන් තරගකරුවන් සඳහා කි.මී. 21 ආසන්න පිරිමි අර්ධ මැරතන් තරගයක්ද කි.මී. 10 හා 5 යනාදි වශයෙන් මැරතන් තරග පැවැත්වීමට අනුරාධපුර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. අනුරාධපුර අල්ට්රා රන් මාර්ග ධාවන තරගාවලියේ මාර්ගය අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් දිවෙන අතර තරගාවලිය සඳහා රටවල් 17කට වැඩි විදෙස් තරගකරුවන් සහභාගි වීමට නියමිතය.
පැතුම් ශ්‍රී විජේරත්න/තිසර සමල් එප්පාවල/බී.ජී. චතුරංග