තමන් ටෙස්ට් තරග සඳහා පමණක් නොව විස්සයි20 තරග සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු බව බලධාරීන්ට පෙන්වා දෙමින් ලක්ෂාන් සඳකැන් සිය මංගල විස්සයි20 තරගයේදීම ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය. ඒත් සමගම ශ්‍රී ලංකාවට දෙවැනි විස්සයි20 තරගය දිනාදීමේ පුරෝගාමියා බවටද ඔහු පත්විය. මෙම ජයත් සමග විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
සඳකැන් මංගල තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල පන්දුවෙන්ම කඩුල්ලක් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවටද පත්විය. කඩුලු 04කින් බර වූ ඔහුගේ මංගල තරගයේ කඩුලු මල්ලේ පළමු කඩුල්ලේ ගොදුර බවට පත්වූයේ මංගලිසෝ මොසේලේය. සඳකැන් මංගල විස්සයි20 තරගයේදී මංගල පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් ලොව 15 වැනි ක්‍රීඩකයාය. මෙම දස්කම පළමු වරට සිදුකර ඇත්තේ 2004/05 කාල වකවානුවේ ඔස්ට්‍රේලියාවේ මයිකල් කැස්ප්රොවිච්ය.
දෙවැනි විස්සයි20 තරගය ඊයේ (22දා) ජොහැනස්බර්ග් නිව් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී නිමාවුණු අතර කාසියේ වාසිය දිනාගනිමින් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානුවෝ තීරණය කළහ. පළමු තරගයේදී මෙන් රිසි සේ පන්දුවට පහර දීමට ඉඩහසර ලබානොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මුළු ලකුණු සංඛ්‍යාව 74ක් වනවිට දකුණු අප්‍රිකානු ඉදිරි පෙළ විනාශ කරමින් පිතිකරුවන් 07 දෙනෙකුම තරග නරඹන්නන් බවට පත්කරමින් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට සමත් වූහ. කඩාවැටුණු දකුණු අප්‍රිකානු ඉනිමට යම් පමණකට හෝ ශක්තියක් එක්කළ හෙයිනෝ කුහ්න් ලකුණු 29ක්ද, නායක ෆර්හාන් බෙහාර්ඩීන් ලකුණු 27ක්ද රැස්කරමින් ඉනිම ගොඩනැගූහ.
පන්දුවාර 19.3කදී දකුණු අප්රිකානුවනට සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 113ක් පමණි. මෙම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව හමුවේ විස්සයි20 තරගයක රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර 2013 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකානුවන් කඩුලු 06ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන තිබීම එහි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වී තිබිණි.
ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 11කට සීමා කිරීමට ලුන්ගි න්ගිඩි සමත් විය.
නවකයන් රැසකගෙන් සමන්විත වුවද දකුණු අප්‍රිකානුවන් ලෙහෙසියෙන් පරාජය බාරගැනීමට අකැමැති පිරිසක් බව පසක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 35ක් වනවිට ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 03ක් බිඳ දැමීමට ඔවුහු සමත් වූහ. කෙසේ වෙතත් නායකයෙකු වශයෙන් සිය යුතුකම් කොටස පිතිකරණයේදී පසුගිය තරග කිහිපයේදීම ලබාදීමට අසමත් වූ ඇන්ජලෝ කණ්ඩායමට ජයග්‍රහණය අවශ්‍ය මොහොතේම එහි නියමුවා වෙමින් නොදැවී අර්ධ ශතකයක් (54) වාර්තා කළේය. එමෙන්ම මැතිව්ස්ට අමතරව දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 22 බැගින් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කිරීමට දායක වූහ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී ලකුණු 07ක් අවශ්‍ය තිබූ මොහොතක මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගය ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු අප්‍රිකාවටද දෝලනය විය. ඒ වනවිට ශ්‍රී ලංකාව රැස්කරගෙන සිටියේ කඩුලු 07ක් දැවී ලකුණු 107ක් පමණි. එහෙත් සිය අත්දැකීම් මනාව උපයෝගි කරගත් නායක මැතිව්ස්, ජොන්-ජොන් ස්මට්ස් යැවූ තරගයේ අවසන් පන්දු වාරයේ දෙවැනි හා සිවුවැනි පන්දුවලට යෝධ හයේ පහර ද්විත්වයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.
මෙම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් විස්සයි20 තරග ඉතිහාසයේ ලකුණු 1000 සීමාව ඉක්මවා යාමටද සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 07කට ලකුණු 119lක් ලබමින් තරගය ජයගැනීමට සමත් විය. ප්‍රවේගකාරී අප්‍රිකානුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට මෙල්ල කළ ලක්ෂාන් සඳකැන් වෙනුවට තරගයේ වීරයා සම්මානය නායක මැතිව්ස්ට හිමි වීම සුවිශේෂීය. තීරණාත්මක තෙවැනි හා අවසන් විස්සයි20 තරගය මෙම මස 25 වැනිදා කේප්ටවුන්හිදී ආරම්භ වීමට නියමිතය.
චම්පික ප්‍රනාන්දු
(දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට)