තිසර පෙරේරාගේ තුන් ඉරියව් දක්ෂතාත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ හා මහේල ජයවර්ධනගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් සංචාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (26දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 77 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1 ලෙස සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය.
ලකුණු 311ක ඉලක්කයක් හඹගිය පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 43.5 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 233 ක් පමණි. මොහොමඩ් හෆීස් (62) හා අහමඩ් ශෙසාඩ් (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න හා රංගන හේරත් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 310/9 රැස්කිරීමට සමත්විය. ඉනිම නගාසිටුවීම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස්, තම කුලුඳුල් එක්දින ශතකය පෙනි පෙනී සිටියදී ලකුණු 93 කට දැවීගියේය. පසුගිය තරගයේදී ලකුණු 89 ක් රැස්කරමින් තම එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ මැතිව්ස් ඊයේ (26දා) එය නැවත වතාවක් අබිබවා ගියේය. ඔහුට අමතරව තම හුරුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කෙරූ තිසර පෙරේරා පන්දු 36 කදී ලකුණු 65 රැස්කිරීමට සමත්වූ අතර, තම 74 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් මහේල ජයවර්ධන ලකුණු 67 රැස්කිරීමට සමත්විය.
තරගයේ වීරයා ලෙස තිසර පෙරේරා සම්මාන ලැබීය. තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින තරගය එළඹෙන 30 වැනිදා දඹුල්ලේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව 310/9 (පන්දුවාර 50)
ඇන්ජලෝ මැතිව්ස් 93 (පන්දු 115, 4x8)
මහේල ජයවර්ධන 67 (පන්දු 74, 4x8)
තිසර පෙරේරා 65 (පන්දු 36, 4x5,6x4)
වහාබ් රියාස් 4/65 (පන්දුවාර 10)
මොහොමඩ් හෆීස් 3/39 (පන්දුවාර 10)
ජුනයිඩ් ඛාන් 1/64 (පන්දුවාර 8)
පාකිස්තානය 233/10 (පන්දුවාර 43.5)
මොහොමඩ් හෆීස් 62 (පන්දු 49, 4x11)
අහමඩ් ශෙසාද් 56 (පන්දු 80, 4x6)
මිස්බා උල් හක් 36 (පන්දු 51, 4x3)
තිසර පෙරේරා 3/19 (පන්දුවාර 3)
සීක්කුගේ ප්‍රසන්න 2/36 (පන්දුවාර 10)
රංගන හේරත් 2/38 (පන්දුවාර 10)
ලසිත් මාලිංග 2/56 (පන්දුවාර 6.5)
තිලකරත්න ඩිල්ශාන් 1/25 (පන්දුවාර 5)
මෙම තරගයේ විශේෂතා
-
ශ්‍රී ලංකාව ලකුණු 300 කඩඉම පසුකළ 49 වැනි අවස්ථාව මෙය වන අතර, ඉන් තරග 7 කදී පාකිස්තානයට එරෙහිව ලබාගෙන ඇත.
-
ටෙස්ට්, එක්දින හා විස්සයි20 කාණ්ඩ තුනෙහිම මැතිව්ස් පාකිස්තානය හමුවේ සිවු වතාවකදී ලකුණු 90 වැඩියෙන් රැස්කර සිටියදී දැවීගොස් ඇති අතර, එක් කණ්ඩායමක් ඉදිරියේ වැඩි වාර ගණනකදී දැවීගොස් ඇති නායකයා ඔහුවේ.
-
පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ලකුණු (ටෙස්ට්, එක්දින, විස්සයි20) 1000 කඩඉම පසුකළ 11 වැනි නායකයා ඇන්ජලෝ මැතිව්ස් වේ. එම දක්ෂතාව දැක්වූ තෙවැනි ශ්‍රී ලංකා නායකයාද ඔහුවෙයි.
-
ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී එක්දින ලකුණු 3000 කඩඉම පසුකිරීමට සමත්වූ අතර, එක කඩඉම පසුකළ 14 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ඔහුවෙයි.
-
පාකිස්තානයට එරෙහිව වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවා තෙන්ඩුල්කාර් (2526) වේ. සනත් ජයසූරිය එහි දෙවැනි ස්ථානයේ ( 2517) පසුවන අතර, අරවින්ද ද සිල්වා සිව්වැනි ස්ථානයේ පසුවෙයි. මහේල (1877) එම වාර්තා අතර, හත්වැනි ස්ථානයේද අර්ජුන රණතුංග (1861) එහි නවවැනි ස්ථානයේද පසුවෙයි.
-
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් තවත් කණ්ඩායමකට එරෙහිව වැඩිම ජයග්‍රහණ වාර්තා කර ඇති කණ්ඩායම් අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණ 85 ක් ලබා ඉදිරියෙන් සිටියි. පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය 81 ක් ලබා එහි දෙවැනියටද, ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ 78 ක් ලබා තෙවැනියටද සිටියි.
ඡායාරූප ශාත්න රත්නායක