සත්කාරක සිංගප්පූරුව ලකුණු 27 -12 ක් ලෙස පරාජය කරමින් ආසියානු වයස 20 පහළ යොවුන් රග්බි තරගාවලියේ පළමු තරගය පහසුවෙන් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
සිංගප්පූරුවේ 'යෝ චූ කන්ග්' ක්රීඩාංගණයේදී පෙරේදා (13දා) පැවැති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ආරම්භයේ පටන් සත්කාරකයන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට ශ්රී ලංකාව සමත් විය. ඒ අනුව පළමු අර්ධය නිමාවට පත් වනවිට ලකුණු 10-05 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට ශ්රී ලංකාව සමත් විය.
දෙවැනි අර්ධයේදී සිය ක්රීඩා රටාව තවදුරටත් ප්රශස්ත තත්වයට පත්කිරීමට සමත් වූ ශ්රී ලංකා ක්රීඩකයෝ තවත් ලකුණු 12 ක් සිය ලකුණු පුවරුවට එක්කර ගැනීමට සමත් වූයේ ප්රතිවාදීන් එම අර්ධය තුළදී ලකුණු 07 කට සීමා කරමිනි.
ශ්රී ලංකාව ගෝල දිනුම් 02 ක්, උත්සාහක දිනුම් 02 ක් හා එක් දඬුවම් පහරක් වැයකළ අතර, සිංගප්පූරුව ලබා ගත්තේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් පමණි.
ශ්රී ලංකාව වෙනුවෙන් රීසා රෆයිඩීන්, බුද්ධිම පියරතන, කෙවින් ඩික්සන් හා මිතිල පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ඉන් දෙකක් සාර්ථකව ප්රවර්ථනය කිරීමට ඉසුරු කෝන්ගහවත්ත සමත් විය. ඊට අමතරව රීසා රෆයිඩීන් එක් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. ශ්රී ලංකා කණ්ඩායම කණ්ඩායම් ප්රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, හොංකොං කණ්ඩායම එහි පෙරමුණේ පසුවෙයි.
මෙම තරගාවලියේ පෙරේදා (13දා) පැවැති තවත් තරගයකින් චීන තායිපේ පරදා ලකුණු 78-12 ක දැවැන්ත ජයක් ලැබීමට හොංකොං සමත් විය. ලීග් ක්රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙට (16දා) හොංකොං කණ්ඩායම සමගින් පැවැත්වේ. මෙම තරගාවලිය එළඹෙන 19 වැනිදා දක්වා පැවැත්වේ.
ඡායාරූප- සිංගප්පූරු රග්බි ෆේස්බුක් ගිණුම