ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් ආසියාටා සමාගම සමග එක්ව 'ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රිය' අති උත්කර්ශවත් අයුරින් පසුගියදා (31දා) බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන්, යොවුන් ක්‍රීඩකයන්, දේශීය පිටිය වර්ණවත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව තරග විනිසුරුවරුන්, පරිපාලකයන් මෙන්ම මාධ්‍යවේදීන්ද මෙහිදී ඇගයීමට පාත්‍ර විය. කෙසේවෙතත් එම සම්මාන රාත්‍රිය ආරම්භයේදී හෝ අවසානයේදී ජාතික ගීය වාදනය නොවීම පැමිණ සිටි කාගේත් කතාබහට ලක් විය.
මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමේ වැඩමුළුවේදීද ජාතික ගීය වාදනය වූයේ අවසානයටය. ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙවැනි උත්සවවලදී ජාතික ගීයට අඩු තක්සේරුවක් ලැබෙන්නේ ඇයිද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් නංවාලීමට ක්‍රිකට් ආයතනයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට අවංක චේතනාවක් ඇත්තේ නම් මෙවැනි වැරදි අවම කරගත යුතු නොවේද? ඒ සඳහා බලධාරීන් කල් නොමරා ක්‍රියාවෙන් එය ඔප්පු කර පෙන්විය යුතුය.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අවසන් ස්තුති කතාව කිරීමේදී මෙම සම්මාන රාත්‍රියට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් මහතාගේ නම අමතක වීම හාස්‍ය උපදවනසුළු සිදුවීමක් විය. කෙසේවෙතත් ප්‍රධාන විධායක නිලධාරියාට ඔහුගේ කතාව අතරතුර විශේෂ ආරාධිත අමුත්තාගේ නම අමතක වූ නමුත්, හදිසියේ එය නැවත මතක් කිරීමෙන් උසස් ලෙස සංවිධානය කර තිබූ සම්මාන උලෙළට අත්වීමට තිබූ අපකීර්තිය ඉන් මගහැරී ගියේය.
මෙහිදී කිවයුතු කාරණයක් වන්නේ ජාතික තලයේ මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට වඩා ඉහත සඳහන් කළ කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. ඉන් මෙවැනි සම්මාන උලෙළ සඳහා අනුග්‍රහය දක්වන ආයතනවල මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද කීර්ති නාමයට සිදුවිය හැකි හානිය අවම කර ගත හැකි බව පැවසීමට කැමැත්තෙමු.