ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්ට නැවතත් සුපුරුදු තැන?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ කටයුතුවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා මීට ඉහතදී කටයුතු කළ ආකාරයෙන්ම ක්‍රියාකිරීමට අවශ්‍ය ඉඩ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (15දා) තීරණය කර තිබෙන බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව අනුව එහි වැඩි බලතල ප්‍රධාන විධායක නිලධාරී වෙත පැවැරිය යුතු බවට සභාපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මීට ඉහතදී ඒකමතිකව අනුමත කළත් පසුව ඒ සම්බන්ධයෙන් ගැටලු පැනනැගුණි. මේ ගැටලුව පසුගිය සතියේදී උච්චතම අවස්ථාවට පැමිණි අතර, එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදහත් වීම දක්වා දුරදිග ගියේය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, ලේකම් නිශාන්ත රණතුංග මහතා හා ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (15දා) සාකච්ඡාවක් පැවැතියේය.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ ක්‍රියාත්මකවීමේදී මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික්රමය යටතේ කටයුතු කරන ලෙසයි.
එසේම එය ඊයේ පැවැති විධායක කමිටු සාකච්ඡාවේ අවධානයට ගන්නා ලෙසත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම කරුණ ඊයේ (15දා) රැස්වූ විධායක කමිටුවේදී සාකච්ඡා කර තිබෙන අතර, එහිදී ලේකම්වරයාට සුපුරුදු පරිදි සිය රාජකාරී කටයුතු කරගෙන යාමට ඉඩ ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම ක්‍රීඩාව දේශපාලනීකරණයක් නොවන්නේදැයි ක්‍රිකට් විචාරකයෝ ප්‍රශ්න කරති.
මේ අතර විධායක කමිටුව පැවැත්වීමේ මූලිකම අරමුණ වූයේ පුහුණුකරු පිළිබඳව තීරණයක් ගැනීම වුවත් ඒ සම්බන්ධයෙන් විධායක කමිටුවේ අවධානය අල්ප වශයෙන් යොමු වී තිබෙන බවත් වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

