ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාතික පුහුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිතව සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඊයේ (21දා) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව මේ වනවිට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැති අතර, ඉදිරි දින කිහිපයේදී ඒ සඳහා යෝග්‍ය තැනැත්තෙකු තෝරාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පුහුණුකරුවන් කිහිපදෙනෙක් සමග සාකච්ඡා කරමින් සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණි විගස හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත ගොස් වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකර ඇතැයිද කරුණු අනාවරණය වේ.
එම සාකච්ඡා ඊයේ රාත්‍රී 8.00ට පමණ ආරම්භවී ඇති අතර, එය මාධ්‍යම රාත්‍රිය තෙක් සිදුව ඇති බව හෙළිවේ. මේ වනවිට හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමට සිය එකඟතාව පළකර ඇති අතර, ඒ අනුව ඉන්දීය සංචාරයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත එක්දින තරග 03කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේදී ඔහු ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩභාරගැනීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුගෙන් විමසීමක් සිදු කළ අතර, ඔහු පවසා සිටියේ මෙම සතිය තුළ හතුරුසිංහ පැමිණීමට නියමිතව සිටි බවත්, එහෙත් නිල වශයෙන් ඔහු පැමිණි බවට තොරතුරු වාර්තා වී නොතිබුණු බවත්ය.
චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමත් සමග මේ වනවිට අතුරු පුහුණුකරු (interim coach) ලෙස කටයුතු කරන නික් පෝතාස් යළිත් පන්දු රැකීමේ ධුරයේ කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ. මේ වනවිට නික් පෝතාස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු සංචාරයට එක්ව සිටියි.
චන්දික හතුරුසිංහ කලක් (කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සමයේ) ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු (Shadow Coach) ලෙස කටයුතු කළ අතර, පසුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේය. ඊට පෙර ඔහු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායමකද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම ආසියාවේ මෙන්ම ලොව ප්‍රබල කණ්ඩායමක් ලෙස ශීඝ්‍ර දියුණුවක් ලැබූ බව නොරහසකි.