ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 105ක් පසුපසින්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පොර්ට් එලිසබෙත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27දා) අයහපත් කාලගුණය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 57ක් අවසනදී කඩුලු 07ක් දැවී ලකුණු 181ක් රැස්කර ගෙන සිටියේය. ඒ අනුව ඔවුහු දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 105ක් පසුපසින් සිටිති.
හුදෙකලා සටනක නිරතව සිටින ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටින අතර, ඔහු දුෂ්මන්ත චමීර (ලකුණු 07) සමග 08 වැනි කඩුල්ලට ලකුණු 24ක සබඳතාවක් ගොඩනගා සිටියි.
සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව රැඳී තිබුණේ ලකුණු 10ක් වනතෙක් පමණි. ලකුණු 05ක් ලබා සිටි දිමුත්, කයිල් ඇබොට්ගේ පිටතට ඇදීගිය පන්දුවට පහරක් එල්ල කිරීමට ගොස් පිත්තේ යටි දාරයේ වැදී පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
අංක 03 පිතිකරු ලෙස ඉනිම ආරම්භ කළ කුසල් ජනිත්ගේද ඉනිමටද ආයුෂ තිබුණේ ලකුණු 07ක් රැස්කරන තෙක් පමණි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 19ක් වනවිට වර්නන් පිලැන්ඩර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින කුයින්ටන් ඩි කොක් වෙත උඩපන්දුවක් ලබාදීමෙන් ජනිත්ගේ ඉනිම අවසන් විය.
බලාපොරොත්තු දල්වා සිටි කුසල් මෙන්ඩිස්ටද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය වගකීම ඉටුකිරීමට මෙම ඉනිමේදී නොහැකි වූ අතර, එකදු ලකුණකින් හෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් දායක වීමට ඔහුට නොහැකි විය. කයිල් ඇබොට්ගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරු වූ කුසල් මෙන්ඩිස්, ඩි කොක් වෙත උඩපන්දුවක් ලබාදී සිය ඉනිම වේලාසනම අවසන් කරගත්තේය. මෙන්ඩිස් දැවීයාමත් සමග ශ්‍රී ලංකාව 22/3ක් ලෙස ඉතා අසීරු තත්ත්වයක පසුවිය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම ලෙහෙසියෙන් පාලනය කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට අවස්ථාවක් නොදුන් ඇන්ජලෝ මැතිව්ස්, කෞෂාල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනගා ඉනිම යළි ස්ථාවර කළේය. නමුත් කෞෂාල් ලකුණු 16ක් ලබා සිටියදී දැවී යාමත් සමග ශ්‍රී ලංකා නායකයාගේ උත්සාහය අසාර්ථක වූ අතර, මැතිව්ස්ටද ලකුණු 39ක් රැස්කර ගෙන සිටියදී කාගිසෝ රාබඩාගේ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් සිය කඩුල්ල පිරිනැමීමට සිදුවිය.
උපනායක දිනේෂ් චන්දිමාල්ද ලකුණු 28ක් ලබාසිටියදී කාගිසෝ රාබඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. මෙහිදී රංගන හේරත් ශ්‍රී ලංකා ඉනිමට අත්‍යවශ්‍ය ලකුණු 24ක් දායක කළ අතර, කෙශාව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ඊයේ (27දා) දිනයේ බිඳවැටුණු අවසන් කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත්ව ගියේය. හේරත් දැවී යන විට ලකුණු පුවරුව 157/7ක් ලෙස දිස්විය.
ශා. ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පෙරේදා (26දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (27දා) පන්දුවාර 98.5ක් අවසනදී සියල්ලන් දැවී ලකුණු 286ක් රැස්කිරීමට සමත්විය.
දකුණු අප්‍රිකාව පෙරේදා (26දා) දිනට තරගය නතර කරන විට කඩුලු 06ක් දැවී ලකුණු 267ක් ලබා සිටියේය. කෙසේ නමුත් ඊයේ දිනයේදී ලකුණු 19ක් ඇතුළත ඉතිරි කඩුලු සියල්ල දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
මෙහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළ සුරංග ලක්මාල් කඩුලු 05ක් දවාළීමට සමත්වූ අතර, පන්දුවාර 27කදී ඔහුට වැයවූයේ ලකුණු 63ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2010 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ලක්මාල්, ටෙස්ට් තරග 32කදී (ඉනිම් 56) ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, එහිදී කඩුලු 72ක් බිඳහෙළා සිටියි. 2014 වසරේ ශ්‍රී ලංකාව සිදුකළ මැදපෙරදිග සංචාරයේදී ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව 78/4ක් ලෙස කඩුලු දවාළීමට මීට පෙර ලක්මාල්ගේ හොඳම පන්දු යැවීම විය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ මෑණියන්ගේ අභාවට ශෝකය පළකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ (27දා) දිනයේදී අතෙහි කළු පටියක් බැඳගෙන ක්‍රීඩා කරන ආකාරයක් දැකගත හැකිවිය. අද (27දා) තරගයේ තෙවැනි දිනයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

