විස්සයි20 සංචිතය නම් කරන්නේ අනාගතය සදහා
දකුණු අප්‍රිකාවේ සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි20 සංචිතය මේ වනතෙක් නම් කර නොමැති බවත්, දකුණු අප්‍රිකානු තණතීරු හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආනාගතය පිළිබඳව සිතා බලා ඊට උචිත කණ්ඩායමක් නම් කරන බවත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය 'අද'ට පැවසීය.
"අද දිනය (ඊයේ) තුළ අපි දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගි වන විස්සයි20 සංචිතය තෝරාගන්නවා.
එහෙත් තවමත් අවසන් සංචිතය නම් කරලා නැහැ. ක්‍රිකට් අනාගතය හා දකුණු අප්‍රිකානු තණතිලි පිළිබඳව අවධානය යොමුකරලා හොඳ සංචිතයක් නම් කරන්න අපේක්ෂා කරනවා" යැයි ජයසූරිය මහතා එහිදී වැඩිදුරටත් අදහස් පළකළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට වේගයෙන් පන්දුවට පහරදෙන, 23 හැවිරිදි පිතිකරුවෙකු වන තික්ෂිල ද සිල්වා, එන්.සී.සී. ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි හා නිරෝෂන් දික්වැල්ල නම් කර ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය. තික්ෂිල ද සිල්වා, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, දේශීය තරග බිමේදී වේගයෙන් ලකුණු රැස්කළ පිතිකරුවෙකු ලෙසද නමක් දිනාගෙන තිබේ. දේශීය තරග බිමේදී ඔහු ක්‍රීඩා කළ විස්සයි20 තරග 16කදී හයේ පහර 20කට ආසන්න ප්‍රමාණයක් එල්ල කිරීමට සමත්ව තිබේ.
මේ අතර විස්සයි20 ලෝක කුසලානය දිනාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංගට ඩෙංගු උණ රෝගය වැලඳීම හේතුවෙන් මෙම තරගාවලියට එක්කර නොමැති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරගාවලියට පෙර යහපත් වුවහොත් ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව ක්‍රිකට් ප්‍රධානියෙකු 'අද'ට පැවසීය. එහෙත් මාලිංගගේ සහභාගිත්වය ස්ථිර තත්ත්වයක නොපවතින බැවින් කණ්ඩායම් නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කරනු ඇතැයි හෙළිවේ.
දකුණු අප්‍රිකානු විස්සයි20 තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයෙන් රමිත් රඹුක්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න බොහෝදුරට ඉවත් කරනු ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු විස්සයි20 තරග මේ මස 20 වැනිදා සෙන්චූරියන්හිදීද, දෙවැනි තරගය 22 වැනිදා ජොහැනස්බර්ග්හිදීද, තෙවැනි තරගය 25 වැනිදා කේප් ටවුන්හිදීද පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

