වසර 23ක් රැඳි ටෙස්ට් අභිමානය රැකගනිමු
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා අවසන් ටෙස්ට් තරගය අද (14දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරග 05කින් යුත් එක්දින තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායම තරග 3-2ක් ලෙස ජයගෙන ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිස තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ටෙස්ට් තරගයට පිවිසෙන්නේ නව නායකයෙක් යටතේය. ඒ දිනේෂ් චන්දිමාල්ට නායකත්වයේ වගකීම පවරමිනි. වසර 04ක් ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් පසුගියදා නායකත්වයෙන් (ටෙස්ට්, එක්දින, විස්සයි20) ඉල්ලා අස්වුණු අතර, ඔහු පිතිකරුවෙකු ලෙස සුපුරුදු රිද්මයට පැමිණ සිය වගකීම කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ යුතුය.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර මේ වනවිට ටෙස්ට් තරගාවලි 07කදී තරග 17ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක ජය
ශ්‍රී ලංකාවටද, තරග 05 ක් ජය පරාජයෙන් තොරවද නිමාවට පත්ව තිබේ.
1994 වසරේ සිට ඇරඹෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරග ඉතිහාසයේ වසර 23ක අපරාජිත වාර්තාවක් ශ්‍රී ලංකාව සතුවන අතර, එය රැකගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙහෙසිය යුතුය.
එමෙන්ම ජයග්‍රාහී මානසිකත්වයකින් පිටියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට ඇති අවස්ථාව ඇහිරිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද සිය යුතුකම් කොටස ඉටුකළ යුතුය.
මෙම වසර තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැති වීමද ශ්‍රී ලංකාවට බරපතළ පාඩුවකි. එනිසා පීඩනය මේ වනවිට ශ්‍රී ලංකාව දෙසට යොමුව තිබේ. එම පීඩනයෙන් මිදී ඉදිරි ඉන්දීය සංචාරයට ජයග්‍රාහීව යොමු වීමට නම් මෙම ටෙස්ට් තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වී තිබේ.
කෙසේ වෙතත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිතිකරුවන්ගේ පාරාදීසයක් හෙයින් ශ්‍රී ලංකාව වැඩි අවධානයක් පිතිකරුවන් කෙරෙහි යොමුකළ යුතු වුවද මුල් දින තුනෙන් පසු දඟපන්දු යවන්නන්ටද සහාය දක්වන බව අමතක නොකළ යුතුය. ඒ නිසා කණ්ඩායම් සංයුතිය කෙරෙහි අවධානය යොමුකරන විට දඟපන්දු යවන්නන් කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තැබිය යුතු යැයි අපගේ විශ්වාසයයි.
ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග හා දිමුත් කරුණාරත්න අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් හා අසේල ගුණරත්න සමගින් නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් ලෙස අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයෙන් ගැටලුවක් නොමැති නිසා පන්දු යැවීමේ සංයුතියට වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතුය. එහිදී වේගපන්දු යවන්නන් දෙදෙනෙකු, දඟපන්දු යවන්නන් දෙදෙනෙකු හා එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කෙරෙහි මේ වනවිටත් ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ දිනවල උදෑසන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ (පළමු පැය 02 ක කාලය තුළ) පවතින තත්ත්වය තණතීරුව නිරාවරණය කිරීමෙන් පසුව වෙනස් විය හැකිය.
එනිසා කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනාගතහොත් පළමුව පන්දුවට පහරදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ශ්‍රී ලංකාව උත්සුක විය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව සිවුවැනිව පන්දුවට පහරදීමේදී තණතීරුව කඩතොලු වීම හේතුවෙන් දඟපන්දු යවන්නන්ට පහසුවෙන් කඩුලු ලැබෙන හෙයිනි.
සිම්බාබ්වේ කණ්ඩායමද අවතක්සේරු කළ යුතු කණ්ඩායමක් නොවේ. හැමිල්ටන් මසකඩ්සා, ක්‍රේග් අර්වින්, සිකන්දර් රාසා, ෂෝන් විලියම්ස් හා මැල්කම් වොලර් යන පිතිකරුවන්ද, ක්‍රිස් මෝෆු, කාල් මුම්බා, ටෙන්ඩායි චටාරා, නායක ග්රැහැම් ක්‍රීමර් හා ඩොනල්ඩ් ටිරිපානෝ යන පන්දු යවන්නන්ද පාලනය කිරීම අතිශය වැදගත්ය. ඒ මේ ඕනෑම ක්‍රීඩකයෙකු තරග දිනවිය හැකි ක්‍රීඩකයන් බව ඔප්පු කර ඇති හෙයිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පසු වනුයේ 07 වැනි (පසුගිය මැයි මස 18 වැනිදා වනවිට පැවැති, ශ්‍රේණිගත කිරීම්හි) ස්ථානයේය. සිම්බාබ්වේට හිමිව තිබුණේ 10 වැනි ස්ථානයයි.
ඒ නිසා මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනුයේ මෙම මස අවසානයේ දියත් වීමට නියමිත ඉන්දීය සංචාරය හේතුවෙනි. ඊට අවශ්‍ය ජයග්‍රාහී මානසිකත්වය ගොඩනගා ගැනීමටත් වසර 23ක් පැවැති ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් අපරාජිත වාර්තාව ඉදිරියට රැගෙන යාමටත් ශ්‍රී ලංකාව පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් බොහෝ දේ කළ යුතුය.
විශේෂයෙන් පසුගිය කාලසීමාව පුරා ශ්‍රී ලංකාවේ පන්දු රැකීම පාසල් කණ්ඩායම්වලටත් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ජයගත හැකිව තිබූ තරග රාශියක් ගිලිහී ගියේය. එනිසා උඩපන්දු රැකගෙන අපරාජිත වාර්තාව ඉදිරියට ගෙන යනවාද? එසේත් නොමැති නම් උඩපන්දු අත්හැර ශ්‍රී ලංකා අභිමානයට කැළලක් එක් කිරීමට දායක වනවාද යන්න තීරණය කිරීම ක්‍රීඩකයන් සතුය.
අද (14දා) තරගය පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

