සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින තරගාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරගය අද (10දා) සෙන්චූරියන්හිදී ආරම්භ වීමට නියමිතය. මේ වනවිට දකුණු අප්‍රිකාව තරග 4-0ක් ලෙස තරගාවලියේ ජය හිමිකරගෙන සිටින අතර ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ගෞරවාන්විත අවසානයක් දැකීමට අවශ්‍ය නම් මෙම තරගය ජයගත යුතුය.
එසේ නොවුණහොත් 'වයිට්වොෂ්' (පූර්ණ තරගාවලි පරාජයට පත්වීම) වීමේ අවමානයකට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.දකුණු අප්‍රිකානුවන් මෙම තරගාවලියට පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් සිය උපරිම ශක්තිය එය ජයගැනීම සඳහා යොදවනු නිසැකය. එනිසාම කණ්ඩායම් ද්විත්වයෙන්ම පෙර තරගයට (සිවුවැනි එක්දින තරගයට) ක්‍රීඩා කළ කණ්ඩායමම බොහෝ විට ඉදිරිපත් කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවුවහොත් එය පන්දු යවන්නෙකුට හිමිවීමේ අවස්ථාවක් පමණි. එය එලෙස සිදුවුවහොත් නවක ක්‍රීඩක විකුම් සංජයට එක්දින වරම් ලැබීමේ අවස්ථාව හිමිවිය හැකිය. එහෙත් පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව බොහෝදුරට පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කරනු නිසැකය.
අද (10දා) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතය.
චම්පික ප්‍රනාන්දු (දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි සිට)