ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමට ප්‍රථමයෙන් පුහුණු තරග දෙකක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එම තරගවලදී දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට නවසීලන්ත තරගාවලියේ දොරටුව විවර වන අතරම ඔවුන්ට ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමටද අවස්ථාවක් හිමිවෙතැයි විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගී වන එකම එක්දින තරගාවලිය නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියයි. එම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමට බොහෝවිට ලෝක කුසලාන තරගාවලියේ දොරටුව ඇරෙනු ඇතැයි සඳහන් කළේ එහෙයිනි.
'ඒ 'හා 'බී' යන කණ්ඩායම් දෙකක් යටතේ මෙම පුහුණු තරග පැවැත්වෙන අතර, එම තරග එළඹෙන 28 හා 30 යන දෙදින තුළ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් එක්වන ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතය මේ දක්වා නම්කර නැති අතර, එය ජනවාරි 07 වැනිදාට පෙර නම්කළ යුතු වෙයි. නවසීලන්ත තරගාවලියට එක්දින තරග 07 ක් ඇතුළත් අතර එය ජනවාරි මස 11 වැනිදා ආරම්භවීමට නියමිතය.
ඇන්ජලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, සචිත්ර සේනානායක, තිසර පෙරේරා යන ක්‍රීඩකයන්ට බොහෝවිට ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමිවන හෙයින් තවත් ක්‍රීඩකයන් 07 දෙනෙකුට කණ්ඩායමේ ස්ථානය සඳහා තරගයක් පවතී.
ඒ අනුව එම ක්‍රීඩකයන් හත්දෙනා තෝරාගැනීමේ තරග දෙකක් බවට මෙය පැවැත්වෙනු ඇත. ආබාධ තත්ත්වයකින් පසුව ක්‍රමයෙන් සිය පුහුණුවීම් ආරම්භ කළ මාලිංග මෙම පුහුණු තරග දෙක සඳහා එක්නොවේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ගැටලුවට තවමත් නිසි පිළිතුරක් නොමැති අතර, ඒ සඳහා පුහුණු තරග දෙක හරහා දක්ෂතා දක්වන කුසල් ජනිත්, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, උදාර ජයසුන්දර යන ක්‍රීඩකයන් අතර තරගයක් පවතිනු ඇතැයි විශ්වාස කළ හැකිය.
එසේම සිය ස්ථානය තහවුරු කරගැනීම සඳහා නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, අශාන් ප්‍රියන්ජන්, සීක්කුගේ ප්‍රසන්න, ෆර්වීස් මහරුෆ් යන ක්‍රීඩකයන්ටද මෙම තරග දෙකේදී උපරිම දක්ෂතා දැක්වීම අනිවාර්ය කරුණක් වෙයි. මේ අතර රමිත රඹුක්වැල්ලද මෙම පුහුණු තරග දෙක සඳහා කැඳවා තිබේ.
කණ්ඩායම 1 කණ්ඩායම 2
කුසල් ජනිත් උපුල් තරංග (නායක)
ධනුෂ්ක ගුණතිලක උදාර ජයසුන්දර
කිත්රුවන් විතානගේ භානුක රාජපක්ෂ
අශාන් ප්‍රියන්ජන් (නායක) රොෂේන් සිල්වා
ජීවන් මෙන්ඩිස් සදීර සමරවික්‍රම
තිසර පෙරේරා සීක්කුගේ ප්‍රසන්න
නුවන් කුලසේකර ෆර්වීස් මහරූෆ්
රමිත් රඹුක්වැල්ල ළහිරු ගමගේ
ලක්ෂාන් සඳකැන් සචිත්ර සේනානායක
ළහිරු මිලන්ත අජන්ත මෙන්ඩිස්
නිසල තාරක කසුන් මධුසංඛ
අතිරේක
චතුරංග ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ප්‍රියමාල් පෙරේරා ,අසේල ගුණරත්න, ඉෂාන් ජයරත්න, නිලංක ප්‍රේමරත්න