යතුරුපැදියෙන් ගිනස් වාර්තා පොතට ගිය මාධ්‍යවේදිනිය
යතුරුපැදි ධාවන තරග ලොව හැඳින්වෙනුයේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙන තරග වශයෙනි. 'අධික වේගය මරු කැඳවයි' යනුවෙන් අපේ ජනවහරේ ප්‍රකාශයක් තිබුණද, අධික වේගය තුළින් ගිනස් පොතේ සිය නාමය සනිටුහන් කළ කාන්තාවන් වේ නම් ඒ ඉතාම අතළොස්සක් පමණි. මෙහි කතානායිකාවද මරණයට අභියෝග කරමින් ගිනස් පොතට ගිය බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියකි. ඇය නමින් මාරියා කොස්ටෙලෝය.
බ්‍රිතාන්‍ය කාන්තා යතුරුපැදි ධාවන තරග පිළිබඳව කතා කරද්දී, ඇයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ලොව වේගවත්ම යතුරුපැදි ධාවන ශූරිය ලෙස ඇය ගිනස් ලෝක වාර්තා පොතට සිය නාමය 2005 දී පළමුවරට ඇතුළත් කරගැනීම හේතුවෙනි.
යතුරුපැදියට කුඩා කල සිට දැඩි ලෙස ඇලුම් කළ මාරියා, උපත ලබනුයේ 1973 වසරේ ජූනි මස 09 වැනිදා එංගලන්තයේ නොර්තැම්ප්ටන්හිදීය. ඇය කුඩා කල සිටම වේගයට ආශා කළ ක්‍රීඩිකාවකි. ඇය පිළිබඳව ලොව බොහෝ දෙනෙකු කතා කිරීමට පටන් ගන්නේ 2005 වසරේදී මැන්ක්ස් ග්‍රෝන්ප්‍රී (Manx Grand Prix) තරගාවලියට සහභාගි වීමත් සමගිනි.
මාරියා කොස්ටෙලෝ ලොව වේගවත්ම යතුරුපැදි ධාවන වටය (Fastest woman to Lap) නිමා කිරීමේ ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීවේ පැයට සැතැම්ම 114.73ක වේගයක් රඳවා ගනිමින් මෙම සියවසේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වෙමිනි. එම ගිනස් වාර්තාව ඇයගේ නමින් පළමු වරට බිහි වුවද, එහි වත්මන් හිමිකාරිනිය වනුයේ තවත් බ්‍රිතාන්‍ය ධාවන ශූරියක වන ජෙනී ටින්මවුත්ය. ඇය 2009 වසරේදීම එම වාර්තාව තමා සතු කරගන්නේ පැයට සැතැම්ම 119.945ක වේගයක් රඳවා ගනිමිනි.
කෙසේ වෙතත් කොස්ටෙලෝ පිළිබඳව බොහෝදෙනා කතා කරන තවත් මාතෘකාවක් වනුයේ ඇය බ්‍රිතාන්‍ය මාධ්‍ය‘වේදිනියක ලෙස ජීවිතය ආරම්භ කරමින් කුඩා කල දැඩි ලෙස ආදරය කළ යතුරුපැදි ධාවනයට පසුව පිවිසීමත් සමගිනි. අද වනවිට මාධ්‍ය හා ක්‍රීඩාව යන ක්ෂේත්‍ර දෙකම නියෝජනය වන බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක් වේ නම් ඒ කොස්ටෙලෝ පමණි.
කොස්ටෙලෝ ලොව වේගවත්ම යතුරුපැදි ධාවන වටයට හිමිකම් කියනුයේ 2004 වසරේදීය. ඒ අන්තර්ජාතික අයිසල් ඔෆ් මෑන් තරගාවලියට (International Isle of Man Tourist Trophy) සහභාගි වෙමිනි.
මේ වනවිට කොස්ටෙලෝ ලොව ප්රමුඛ යතුරුපැදි සන්නාම හිමි පුහුණුකාරිණියක ලෙසද කටයුතු කරන අතර, ඇයගේ තරග කාලය තුළ 05 වරක් අයසල් ඔෆ් මෑන් තරගාවලියට 2002-2004 හා 2010-2013 අතර කාලය තුළ සහභාගිව ජයග්‍රහණ රැසක් හිමි කරගැනීමට සමත්ව සිටින්නීය.
බ්‍රිතාන්‍යයේ යතුරුපැදි සම්බන්ධව පුවත් වාර්තා කරමින් නිදහස් මාධ්‍ය‘වේදිනියක ලෙස ඇය ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන්නේ 1995 වසරේදීය. පසුව ඇය 'මෝටර්සයිකල් නිව්ස්' (MCN) පුවත් පතට සිය දායකත්වය ලබාදෙන අතර, එමගින් යතුරුපැදි ක්ෂේත්රයේ ලබාගන්නා ප්‍රසිද්ධියත් සමග 'අයරිෂ් රේසිං මැගසින්' නම් සඟරාවට එක්වන්නීය.
කොස්ටෙලෝ, රූපවාහිනි වැඩසටහන් රාශියකටද සිය දායකත්වය ලබාදී ඇති අතර, එහිදී ටීටී හිරෝස් (TT Heroes), ෆ්‍රෑන්ස් එන්ජල්ස් (Fran’s Angels), ටොප් ටෙන් බයික්ස් (Top Ten Bikes), ටැන්සින් ඔන්වේට් (Tanzin Outwaite), වෝක් අවේ ඇන්ඩ් අයි ස්ටම්බල් (Walk away and I Stumble) රූපවාහිනී වැඩසටහන් සුවිශේෂී වේ. ඇය ඔස්කාර් සම්මානලාභී රීස් විතර්ස්පූන් නම් නිළිය සමග ද රඟපෑමට තරම් වාසනාවන්ත වී සිටින්නීය.
කොස්ටෙලෝ මේ වනවිට යතුරුපැදි ක්‍රීඩාව කාන්තාවන් අතර ප්‍රචලිත කිරීමට වෙහෙස වී වැඩ කටයුතු කරන්නීය. ඒ නිසාම ඇය බ්‍රිතාන්‍ය කිරීටයේ ඔටුන්න හිමි කුමාරයාගෙන් පවා ගරු බුහුමන් ලැබීමට තරම් වාසනාවන්ත විය.
කොස්ටෙලෝ 2005 වසරේදී බී.බී.සී. නොර්තැම්ප්ටන් ක්‍රීඩා පෞරුෂත්වයට හිමි සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, ඒ සියල්ල ඇය වෙත ඇදී ආවේ වේගවත් යතුරුපැදි ක්‍රීඩාවේ පෑ පෙළහර නිසාය. 2009 වසරේදී බ්‍රිතාන්‍ය කිරීටය ඇයව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජිකයෙකු ලෙස පත් කරමින් ගරුබුහුමන් දැක්වීමට කටයුතු කර තිබුණි.
(කොස්ටෙලෝ රේසිං වෙබ් අඩවියෙනි)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







