සංචාරක පාකිස්තාන කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තීරණාත්මක සිවුවැනි එක්දින තරගය අද (22දා) දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේදී ප්‍රේක්ෂකයන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මෙම තරගයේදී පමණක් නොව, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිසිදු තරගයකදීවත් වාර්තා නොවේයැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.
කෙසේ වෙතත් සඳහන් කළ යුතු කරුණ වන්නේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය කිසිලෙසකින්වත් තරගය පරාජය වීම නිසා ඇතිවූ ගැටුමක් නොවන බවත් එය සිදුවූයේ ප්‍රේක්ෂකයන් අතර ඇතිවූ ගැටලුවක් දුරදිග යාමක් නිසා බවත්ය. මෙවැනි සිදුවීම් හේතුවෙන් විනාශ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමය බව ප්‍රේක්ෂකයන් තේරුම්ගත යුතුම වෙයි.
නැවතත් තරගයට පැමිණියහොත් දෙවැනි තරගයේදී අප සඳහන් කළේ ආරම්භක පිතිකරණ සබඳතාව වේගවත් වූයේ නම් එය කණ්ඩායමේ ජයග්‍රහණයට පදනම වෙනු ඇති බවයි. එය එලෙසින්ම සිදු වූ අතර කුසල් හා ඩිල්ෂාන් ලබාගත් වේගවත් ආරම්භය හේතුවෙන් එම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එය තෙවැනි තරගයේදී සිදුනොවූ අතර වැඩි අවදානමක් ගෙන තරග කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සීමාවකට දැවී ගියේය.
තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයෙන් හිමිවූයේ අසීරු ඉලක්කයක් වන අතර එම ඉලක්කය අනුව ශ්‍රී ලංකාවට තරගයේ ජය ගැනීමට තිබුණේද අවම ඉඩකි. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරජයට පන්දු රැකීම, පන්දු යැවීම හා පන්දුවට පහරදීම යන සියලුම අංශයන්ගේ දුර්වලතාව පරාජයට හේතුව විය.
මෙම දුර්වලතා සියල්ලම යම්කිසි මට්ටමකින් හෝ ශ්‍රී ලංකා කණ්ඩායම නිවැරදි කරගෙන අද තරගයට පිවිසෙන්නේ නම් එය තරගයේ ප්‍රතිඵලය වෙනස්වීමට ප්‍රබල සාධකයක් වෙනු ඇත. ඛෙත්තාරම පිටියේ තණතීරුව වේග පන්දු යවන්නන්ට සහය දැක්වුවත් තෙවැනි තරගයේදී එහි හොඳින්ම පන්දුව දඟ කැවුණි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුව දඟ කැවීමට නොහැකිවීමත්, පාකිස්තාන පන්දු යවන්නන් ආයාසයකින් දඟ පන්දුව දඟ කැවීමට කටයුතු කිරීමත් හේතුවෙන් ඛෙත්තාරම පිටියේ වාසිය පාකිස්තානුවන්ට හිමිවිය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හයක් දඟ පන්දු යවන්නන් ලබාගැනීමයි. හොඳම උදාහරණය යසීර් ෂාය. තෙවැනි තරගයේදී ඔහු කඩුලු හතරක් උදුරා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මාලිංග හා තිලකරත්න ඩිල්ෂාන් තවමත් සුපුරුදු රිද්මයට පැමිණ නොතිබීම කණ්ඩායම පැත්තෙන් අවාසියකි. විශේෂයෙන්ම තරුණ කණ්ඩායමක් සමගින් ක්‍රීඩා කරන විට මෙම ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාගේ වගකීම මැනවින් ඉටුවිය යුතු බව අපගේ හැඟීමයි.
තරගාවලියේ මේ දක්වා අවසන් වූ තරග තුනේදී ලසිත්ගේ පන්දුවාර 28 ට පාකිස්තාන පිතිකරුවන් ලකුණු 200ක් උදුරාගෙන තිබේ. ඔහු කඩුලු තුනක් පමණක් දවාගෙන තිබෙන අතර ඔහුගේ පන්දුවාරයකට පාකිස්තාන පිතිකරුවන් ලකුණු 7ට වැඩියෙන් ලබාගෙන තිබේ. කෙසේ වෙතත් මාලිංග යනු ඕනෑම අවස්ථාවක සාර්ථක වන පන්දු යවන්නෙකු බැවින් මෙම තරගයේදී හෝ ඔහු රිද්මයට පැමිණියහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පදනම වෙනු ඇත.
ඩිල්ෂාන් ආරක්ෂාකාරී පිතිකරණයක යෙදීම කණ්ඩායමට අවාසියක් වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඔහු සුපුරුදු ආක්‍රමණශීලී තරග රටාවකට පිවිසෙන්නේනම් එය කණ්ඩායමට වාසියකි. තිසරද තවමත් රිද්මයට පැමිණ නැත. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න තෙවැනි තරගයේදී ලකුණු අතරට පැමිණීම කණ්ඩායම පැත්තෙන් තිබෙන වාසියයි. ළහිරුගේ දායකත්වය මෙම තරගයේදීත් ලැබේනම් එය කණ්ඩායමට වාසියකි.
ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ නවක ක්‍රීඩකයන් දෙදෙනා වන මිලින්ද සිරිවර්ධන හා සචිත් පතිරණ දක්ෂතා දක්වමින් සිටිති. එය ශ්‍රී ලංකා කණ්ඩායමට සුබය. කෙසේ වෙතත් උපුල් තරංගට හා නුවන් ප්‍රදීප්ට තවමත් දක්ෂතා දැක්වීමට නොහැකිවී තිබේ. මෙම තරගයේදී වෙනසක් සිදුවේනම් ඒ ඔවුන් දෙදෙනාගේ ස්ථාන දෙක බවට පත්විය හැක. ඔවුන්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවුවහොත් සුරංග ලක්මාල්ට හා අශාන් ප්‍රියන්ජන්ට කණ්ඩායමේ ස්ථානයක් ලැබේ යැයි විශ්වාස කළ හැකිය.
පාකිස්තානු කණ්ඩායම මෙම තරගයට තෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම සමගින්ම පිටියට පිවිසීමට හැකියාව තිබේ.
තරගාවලියේ මේ දක්වා සෑම අතකින්ම ඉදිරියෙන් සිටින කණ්ඩායම පාකිස්තානය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් තිදෙනාද, වැටීම කඩුලු ලබාගත් පන්දු යවන්නන් තිදෙනාද පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරයි. එසේම අගනා උඩපන්දු කිහිපයක් රැකගැනීමට පාකිස්තානය සමත්වීම හේතුවෙන් ඔවුන්ගේ පන්දු රැකීමේ දක්ෂතාව පැහැදිලි වෙයි.
අද තරගය පැරදුණහොත් ශ්‍රී ලංකාව තරගාවලිය පරජය වන අතර, පාකිස්තාන කණ්ඩායම තරගාවලිය ජයගැනීම පමණක් නොව, ඔවුන්ට ශූරයන්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමටත් අවස්ථාව ලැබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක