තමාට ශ්රී ලංකා ක්රිකට් උපසභාපති තනතුරෙන් හෝ දේශීය ක්රිකට් ප්රධානී තනතුරෙන් ඉවත්වීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, තමන් ඕනෑම අභියෝගයකට ක්රිකට් ආයතනය තුළ සිට සටන් කරන බවත් ශ්රී ලංකා ක්රිකට් උපසභාපති සහ දේශීය ක්රිකට් ප්රධානී කේ. මතිවානන් මහතා 'අද’ට පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, ක්රිකට් ආයතනයේ දරන තනතුරුවලින් සමුගැනීමේ සූදානමක් පවතින්නේද යන්න 'අද' කළ විමසීමේදීය.
කෙසේ වෙතත් පානදුර සහ කළුතර කායවර්ධන කවය අතර දේශීය ක්රිකට් තරගයකදී සිදුවුවා යැයි පැවසෙන විෂමාචාර ක්රියාවන්ට එරෙහිව දැඩි මතයක සිටි මතිවානන් මහතා, අවසනදී ලබාදුන් තීන්දු වෙනත් පාර්ශ්ව විසින් වෙනස් කිරීමට උත්සාහ ගනිමින් පවතිනවා යැයි මතයක් පැවතීම හේතුවෙන් මතිවානන් මහතා සිය ධුරයට සමුදීමට නියමිත බව වාර්තා විය.
ක්රිකට් ආයතනයට සමීප ආරංචි මාර්ග පවසා සිටියේ, මතිවානන් මහතා සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් කලකිරීමකින් පසුවන බවයි.
අප මේ සම්බන්ධයෙන් මතිවානන් මහතාගෙන් කරුණු විමසා සිටි අතර, ඔහු පැවසුවේ, තමන්ට කලකිරීමක් නොමැති බවත් ඕනෑම අභියෝගයකට ක්රිකට් ආයතනය තුළ හිඳිමින් සටන් කරන බවත්ය.
මීට අදාළව වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්රී ලංකා ක්රිකට් උපසභාපතිවරයා,
"ඇයි මම තනතුරෙන් ඉවත් වන්නේ. මම ඉවත්වන්නේ නැහැ. බොහෝ අය කැමතියි මම තනතුරෙන් ඉවත් වෙලා යනවනම්. එතකොට සුපුරුදු පරිදි ‘ගේම්’ ගහන්න පුළුවන්නේ. අනික අපි දීපු තීරණ ඒ විදිහටම ක්රියාත්මකයි. අභියාචනා කමිටුවෙන් ඉල්ලීමක් ඇවිත් තිබුණා තාවකාලිකව ක්රීඩකයන්ට පනවපු තහනම පමණක් ඉවත් කරන්න කියලා.
ඒ අනුව මේ දිනවල පැවැත්වෙන තරග සඳහා අපි එම දඬුවම තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඒ කියන්නෙ ක්රීඩකයන්ට පනවපු තහනම විතරයි. අනෙකුත් තීන්දු තීරණ එලෙසම ක්රියාත්මක වෙනවා. මේකට එළියට බැහැලා සටන් කරන්න බෑ. ඇතුළෙ ඉඳලම සටන් කළ යුතුයි" යැයි ප්රකාශ කළේය.