අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (06දා) එංගලන්තයේ නොට්ටන්හැම්හිදී ඇරඹුණු අතර, ඊට සාර්ථක ආරම්භයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 60 කට සීමා කළේය.
එංගලන්ත කණ්ඩායම තරග 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් සිව්වැනි තරගයට පිවිසි අතර, ස්ටුවට් බ්‍රෝඩ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පන්දුවාර 18.3 කදී ඔස්ට්‍රේලියාවට ලබාගත හැකිවූයේ ලකුණු 60ක් පමණි. මෙහිදී පන්දුවාර 9.3 කදී ලකුණු 15 කට කඩුලු 08 ක් දවාළීමට බ්‍රෝඩ් සමත්වූ අතර, ටෙස්ට් කඩුලු 300 ක් ලැබූ පස්වැනි එංගලන්ත පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්වීමටද බ්‍රෝඩ්ට හැකිවිය. මීට පෙර ජේම්ස් ඇන්ඩර්සන් (413), ඉයන් බොතම් (383), බොබ් විලිස් (325), ෆ්‍රෙඩී ටෘමන් (307) එංගලන්තය වෙනුවෙන් කඩුලු 300 සීමාව පසුකළ පන්දු යවන්නනෝ වෙති. ඇන්ඩර්සන් හැරෙන්න සෙසු පන්දුයවන්නෝ මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇත.
එංගලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවූ අතර, ස්ටුවට් බ්‍රෝඩ් ප්රමුඛ එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ දැඩි පසුබෑමකට ලක්වූහ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා වූයේ මිචෙල් ජොන්සන්ය. ඔහු ලකුණු 13 ක් ලැබූවේ හතරේ පහර 2 ක් එල්ල කරමිනි. පන්දු යැවීමේදී එංගලන්ත පන්දු යවන්නන් තිදෙනෙකු පමණක් භාවිත කළ අතර, බ්‍රෝඩ් කඩුලු 08 ක්, වුඩ් හා ෆින් එක් කඩුල්ල බැගින් දවාළූහ. එහිදී බ්‍රෝඩ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම (15/8) සනිටුහන් කිරීමද සුවිශේෂි සිද්ධියකි.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 60 කට සීමාවීම එරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවී ගිය 08 වැනි අවම ලකුණු සංඛ්‍යාව වන අතර, 1902 වර්ෂයේදී එංගලන්තය හමුවේ ලකුණු 36කට දැවීයාම ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වේ. ඊට අමතරව එංගලන්තය හමුවේ ලකුණු 42, 44, 53, 58, 60 ලෙසද දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 47 කටද දැවීගොස් තිබේ.