බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ සමස්ත අනුශූරතාව හිමි කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ පාකිස්තානු කණ්ඩායම හා පැවැති අවසන් තරගයේදී ලකුණු 3-0 පරාජයක් ලබමිනි. අවසන් තරගය ඊයේ (02) පාකිස්තානයේ පංජාබ් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
අවසන් තරගයේ පළමු ඉනිම් තුන අවසන් වනවිට පාකිස්තානු කණ්ඩායම ලකුණු 1-0 වශයෙන් තරගය පෙරමුණ ගෙන නිම කළේය. ඉනිම් පහක් අවසන් වනවිට පාකිස්තානු කණ්ඩායම ලකුණු 3-0 ක් වශයෙන් තවදුරටත් ශ්රී ලංකා කණ්ඩායමට පීඩනය එල්ල කළේය. හත්වැනි ඉනිම අවසන් වනවිට ශ්රී ලංකා කණ්ඩායම හා පැවැති ලකුණු පරතරය 3-0 ක් ලෙසින් පවත්වා ගනිමින් 2013 වසරේත් බටහිර ආසියානු කුසලානය හිමි කරගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.
තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම, නේපාල කණ්ඩායම සමගින් පසුගිය 30 වැනිදා තරග වැදුණු අතර, එම තරගයෙන් නේපාල කණ්ඩායම ලකුණු 18-0 ක් ලෙසින් පහසුවෙන් පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. පෙරේදා (01) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගය ලකුණු 15-0 ජය ගැනීමත් සමග ශ්රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර, පාකිස්තානු කණ්ඩායමද නේපාල හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම් පරාජය කරමින් අපරාජිතව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා ඇෆ්ගනිස්තානය හා නේපාලය තරග කළේය. එම තරගය ලකුණු 3-2ක් වශයෙන් ජය ගනිමින් ඇෆ්ගනිස්තානය තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. 11 වැනි වරට පැවැති බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ලාහෝර් නුවර පංජාබ් ක්රීඩාංගණයේදී පැවැත්විණි. ඇෆ්ගනිස්තානය, නේපාලය, ශ්රී ලංකාව හා පාකිස්තානය බටහිර ආසියානු කුසලානය වෙනුවෙන් තරග වැදුණි. 2012 වසරේදී පැවැති තරගාවලියද ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 4-0 ක් ලෙසින් පරාජය කරමින් පාකිස්තානු කණ්ඩායමට ශූරතාව හිමිවිය.