පිතිකරුවන්ගේ දෙවැනි පරීක්ෂණය
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රියාත්මක වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 206 ක විශිෂ්ට ජයක් හිමි කරගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ඔවුන්ට අවස්ථාව උදාවිය. තරගාවලියේ දෙවැනි තරගය අද (02දා) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී පැවැත්වේ.
පළමු තරගයට පෙරාතුව අප සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හැකියාව පරීක්ෂාවට ලක්වන බවයි. එය අප සඳහන් කළ පරිදිම සිදුවිය. පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පරීක්ෂාවෙන් අසමත් වූ බව සඳහන් කළ යුතුමය. විශේෂයෙන්ම ලකුණු අතරට පිවිසි පිතිකරුවන් (ධනංජය ද සිල්වා (48), දිමුත් කරුණාරත්න (43), කෞෂාල් සිල්වා (48), කුසල් මෙන්ඩිස් (58) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (59) යන ක්‍රීඩකයන් එය දිගු ඉනිමක් බවට පරිවර්තනය කර නොගැනීම පළමු තරගයේ පරාජයට ප්රබලව බලපෑවේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දුවද්දී දැවීයෑම කණ්ඩායමට ප්‍රබල ලෙස බලපෑ බවද සඳහන් කළ යුතුය. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිමුත් සහ කෞෂාල් අතින් එම වැරැද්ද සිදුනොවූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා සටනක් ලබාදිය හැකිව තිබිණි.
අද ඇරඹෙන දෙවැනි තරගයේදීද ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ලවීම වැළැක්විය නොහැකිය. එබැවින් පිටියේ ස්ථාවර වූ පසු කඩුලු ලබාදීම ශ්‍රී ලංකා පිතිකරුවන් සිදු නොකළ යුතුය. එසේ සිදුනොවුවහොත් දෙවැනි තරගයෙන්ද පරාජය වැලඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වේ.කුසල් ජනිත් පෙරේරා ඉදිරි පෙළ පිතිකරුවෙකු ලෙස යොදාගනිමින්, පසුපෙළ පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් කණ්ඩායමට ලබාගැනීමට හැකිව තිබූ ලකුණු අහිමි කරගත්තේය.
අපි දිගින් දිගටම සඳහන් කර සිටියේ කුසල් ජනිත් පෙරේරා එක්දින තරගවලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස භාවිත කළද, ටෙස්ට් තරගවලදී එසේ නොකළ යුතු බවයි. මන්ද ඉදිරි පෙළ පිතිකරුවෙකුට වඩා පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් ටෙස්ට් තරගවලදී ඔහුගෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි බැවිනි. එහෙයින් පළමු තරගයේදී අසාර්ථක වුවද, කුසල් ජනිත් දෙවැනි තරගයේදී පසු පෙළ පිතිකරුවෙකු ලෙස යොදාගනිමින් අංක තුන ස්ථානයට ධනංජය ද සිල්වා යොදාගැනීම මේ අවස්ථාවේ වඩාත් උචිතය. කෙසේ වෙතත් අද තරගයේදී පිතිකරණ සංයුතියේ වෙනසක් වන්නේ නම් එය කුසල් ජනිත්ගේ ස්ථානය විය හැකිය. එහෙත් ඔහුට පසුපෙළ පිතිකරුවෙකු ලෙස සාර්ථකවීමට තවත් අවස්ථාවක් ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.
පළමු තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සාර්ථක වූහ. විශේෂයෙන්ම පළමු ඉනිමේදී ඔවුන්ගේ පන්දු යැවීම අගනේය. ද. අප්‍රිකානුවන් සිය රට තුළදී ලකුණු 286කට සීමා කිරීම පැසසිය යුතුය. ඔවුන්ගේ එම උත්සාහය ඵල රහිත වූයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරිපත් කළ දුර්වල පිතිහරඹය හේතුවෙනි. යම් හෙයකින් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 400 සීමාවට හෝ පැමිණියේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි.
ආබාධයක් හේතුවෙන් මාස කිහිපයකට පසු කණ්ඩායම සමගින් ඉක්වූ දුෂ්මන්ත චමීර සිය සුපුරුදු රිද්මයේ නොමැති බව පළමු තරගයට පෙරාතුව අපි සඳහන් කළෙමු. පළමු තරගයේදී ඔහුගේ පන්දු යැවීම හොඳින් අධ්‍යයනය කළේ නම් එය මැනවින් වටහාගත හැකිය. එම තරගයේදී ඔහු වෙනුවට ළහිරු කුමාර වඩාත් යෝග්‍ය බවද අප සඳහන් කළේ එබැවිනි. කෙසේ වෙතත් චමීර පළමු තරගයට ක්‍රීඩා කළ හෙයින් සහ ආබාධයෙන් මාස කිහිපයකට පසුව කණ්ඩායම සමගින් එක්වූ බැවින් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට තවත් අවස්ථාවක් ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරමු. මාස කිහිපයකට පසු පැමිණි ඔහුට එක්වරම අවස්ථාව ලබා දී සාර්ථක නොවූ බැවින් කණ්ඩායමෙන් ඉවත් කිරීම නුසුදුසු ක්‍රියාවකි. යම් හෙයකින් චමීර කණ්ඩායමෙන් ඉවත් කළහොත් ඔහුගේ විශ්වාසය බිඳවැටිය හැකි බැවින් ඔහු එක්කර ගැනීම වඩා වැදගත්ය.
ද. අප්‍රිකාවට ගැටලුවක් වූ හෂීම් අම්ලා ලකුණු අතර නොසිටීම ඔහු කෙමෙන් කෙමෙන් නිවැරදි කරගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්ත්වයක් නම් නොවේ. ලකුණු අපේක්ෂාවෙන් සිටින ඔහුට එසේ ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් හිමි වුවහොත් නියත වශයෙන්ම එය දීර්ඝ ඉනිමක් වනු නිසැකය.
තරගය අද (02දා) ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

