පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තරගයක් ලෙස පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර (Kaluthara Physical Cultural Club) ක්‍රීඩා සමාජය අතර පසුගියදා (25දා) පැවති තරගයේදී තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනාවට ලක්ව තිබෙන අතර ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් පත්කිරීමට නියමිත ස්වාධීන පරීක්ෂණ කමිටුවට (Independence Committee) ස්වාධීන නොමැති පුද්ගලයන් පත්කිරීමට යෝජනා කර ඇතැයි 'අද' ට වාර්තා වේ.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයෙන් එයට තරග වැදුණු බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ නිලධාරියෙකු හා තවත් නීතිඥවරයෙක් එම කමිටුවට පත්කිරීමට නියමිත බව අනාවරණය වේ.
කෙසේ වෙතත් මෙම ස්වාධීන පරීක්ෂණ කමිටුව ඊයේ (01දා) සවස පත්කිරීමට නියමිතව තිබුණු අතර පුවත්පත මුද්‍රණයට යනවිටදී ඉහතින් සඳහන් කළ පුද්ගලයන් ඊට නිශ්චිතවම පත් කර නොතිබුණි. තරග පාවාදීම සම්බන්ධව පියවර ගැනීමට ක්‍රීඩා සමාජවලට අයත් පිරිස් ස්වාධීන පරීක්ෂණ කමිටුවට පත්කිරීමට පිළිබඳව ක්‍රීඩා සමාජ රැසක නිලධාරීන් දැඩි විරෝධයක් පළ කර තිබේ. ඒ වත්මන් පාලනාධිකාරියට හිතවාදී පුද්ගලයන් මෙයට පත් කිරීමට හා ක්‍රීඩා සමාජවල නිලධාරීන්ගෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු නොවේවි යන ගැටලුව මතුවී ඇති හෙයිනි.
මේවනවිට මෙම ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (icc) දක්වා දුරදිගගොස් ඇති අතර තරග පාවාදීම සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන පරීක්ෂණ කමිටුවේ වාර්තාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පවා අවසන් වශයෙන් යොමුකිරීමට නියමිතය.
මේ අතර මෙවර බී කාණ්ඩයේ අවසන් ස්ථානය දක්වා පහත වැටී සිටින ගුවන් හමුදා කණ්ඩායමට එළැඹෙන තරගවාරයේදී සරා කුසලානය දක්වා පහත වැටීම (Demote) සිදුවන හෙයින් ස්වාධීන පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදුකර සාධරණයක් ඉටුකරන්නැයි ඔවුන්ද විරෝධතාවක් ගොනු කර තිබේ. එසේම තරග පාවාදීම පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් පළමු විරෝධතාව ගොනු කර සිටියේ වරාය අධිකාරී කණ්ඩායමයි. ඒ ඔවුනට මෙම සිදුවීමක් සමග ඊළඟ තරග වාරයේදී ඒ කාණ්ඩය දක්වා උසස්වීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති හෙයිනි.
මේවනවිට මෙම පරීක්ෂණය ස්වාධීනව සිදුකරන්නැයි ඉල්ලමින් තිලංග සුමතිපාල මහතාට සමීප ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ක්‍රිකට් සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
අප මෙම සියලු කරුණු සම්බන්ධයෙන් කරුණු විමසීමට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සම්බන්ධ කරගැනීමට කිහිපවිටක්ම උත්සාහ කළ නමුත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.
මේ අතර තරග පාවාදීමට එරෙහිව සිදුකරන පරීක්ෂණය කඩාකප්පල් කර යට ගැසීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු අදට වාර්තාවේ. එමෙන්ම එහිදී තරග පාවාදුන්නා යැයි ක්‍රීඩකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදී නිලධාරීන් බේරාගැනීමේ මෙහෙයුමක්ද මේවනවිට දියත්ව ඇති බව පිරිසක් චෝදනා කරති. එහිදී ක්‍රීඩකයන්ව බිල්ලට දී නිලධාරීන් බේරාගැනීමට ක්‍රීඩා කළහොත් එම තරගයට ක්‍රීඩා කළ මෙරට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු තරග පාවාදීම සම්බන්ධව සියල්ල හෙළි කිරීමට සූදානමින් පසුවන බවද වාර්තා වේ.
අප මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයේ උපසභාපති හා දේශීය තරග ප්‍රධානී කේ. මතිවානන් මහතාගෙන් කරුණු විමසා සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ කවුරු අකමැති වුවත් තරග පාවාදී ඇත්නම් ඔවුනට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ කළ මතිවානන් මහතා,
“අපි තවම ස්වාධීන පරීක්ෂණ කමිටුව පත් කළේ නැහැ. අද රාත්‍රියේ හෝ හෙට උදෑසන අපි එම කමිටුව පත්කරනවා. ඔබ ඔය පවසන පුද්ගලයන් සම්බන්ධව අවසන් තීරණයක් ගත්තේ නැහැ. අපිට එය තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍යයි. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වාර්තාවක් අපෙන් ඉල්ලුවේ නැහැ. එහෙම වාර්තාවක් ඉල්ලුවද කියන්න මම අද වෙනකන් දන්නේ නැහැ.
අපිට අවශ්‍යයි මීට ඉක්මනින් පියවර ගන්න. ඒ නිසා අපි අද රෑම (ඊයේ 01දා) මීට ස්වාධීන පරීක්ෂණ කමිටුව පත්කිරීමට උත්සාහ කරනවා. මොකද ඊළඟ තරගවාරය ඉක්මනින් අපි ආරම්භ කළ යුතුයි. වැරැද්දක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මෙතැන තරග පාවාදීමක් සිදුවී තිබෙනවා නම් අනිවාර්යෙන් දඬුවම් ලබාදිය යුතුයි. අපි විශාල මුදලක් වියදම් කරලා තරග පවත්වන්නේ තරග පාවාදෙන්න නෙමෙයි. එනිසා එවැනි දෙයක් කවුරුහරි කරලා තිබුණොත් ඊට අවශ්‍ය නිසි දඬුවම් අපි අනිවාර්යෙන් ලබාදෙනවා යැයි පැවසීය.''