පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තරගයක් ලෙස පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ක්‍රීඩා සමාජය (Kalutara Physical Cultural Club) අතර පෙරේදා (25දා) නිමාවූ තරගයේදී තරග පාවාදීමක් සිදුවූයේද යන්න සොයා බැලීමට නිලධාරීන්ට හා ක්‍රීඩකයන්ට එරෙහිව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
එම පරීක්ෂණයේ පළමු අදියර ලෙස තරග නිලධාරීන් හා විනිසුරුවන් කැඳවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තරගාවලි සංවිධාන කමිටුවෙන් නියෝගයක් ලබාදී ඇත. මෙහිදී මෙම තරගය තුළදී සැකයට බඳුන්වන කාරණා රැසක් මේ වනවිටත් ඡායාරූප සමගින් තහවුරුව ඇති අතර, ඒ නිසාම මේ සිදුවීමට විරෝධය පළ කර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබල චරිත කිහිපයක්ම තමන් දරන තනතුරුවලින් පවා ඉවත්වීමේ පසුබිමක් නිර්මාණය වී තිබේ.
අප මෙම අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති හා දේශීය තරග ප්‍රධානියා ලෙස කටයුතු කරන කේ. මතිවානන් මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු පවසා සිටියේ ලබන සඳුදා දිනයෙහි මෙම තරගය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් (Inquiry) සිදුකරන බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මතිවානන් මහතා, “අපි විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් ඉල්ලලා තිබෙනවා. ඒ වගේම තරග තීරකගෙන් වාර්තාවක් අපි ඉල්ලලා තිබෙනවා. ඒවා අපට දින දෙකක් ඇතුළත ලැබේවි. එම වාර්තා බලලා ලබන සඳුදා අපි විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා.
තරග පාවාදීම ක්‍රිකට් ක්‍රීඩාවට ඒතරම් සුදුසු නැහැ. අපේ නම්වලටත් මෙය එච්චර හොඳ නැහැ. ඒ නිසා අපිට වාර්තාව ලැබුණු සැණින් අපි පරීක්ෂණය අරඹනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ සහායත් ලබාගැනීමට අපි අපේක්ෂා කරනවා. මෙහිදී මුදලට තරග පාවාදීමක් සිදුවී තිබෙනවා යැයි නිගමනය කරන්න බැහැ. ඒ මන්දයත් ලංකාවේ දේශීය ක්‍රිකට්වල එතරම් මුදලක් නොලැබෙන නිසා. එහෙත් ශූරයන්වීමට හෝ ලබන වසරේ අනෙක් කාණ්ඩායමට ('ඒ' කාණ්ඩයට) යාමට එවැනි දෙයක් සිදුවී තිබෙනවාද යන්න අපි සොයා බැලිය යුතුයි. යම් වරදක් සිදුවෙලා තිබෙනවා නම් අපි තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් ලබාදෙනවා". යැයි පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වරාය අධිකාරී ක්‍රිකට් කණ්ඩායමද විරෝධතා ගොනුකර ඇතැයි වාර්තා වන අතර, හිටපු නායක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලිඛිත වාර්තාවක් ලබාදී ඇතැයි හෙළිවී තිබේ. මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙම තරග පාවාදීමට එරෙහිව නිසි පියවර නොගන්නේ නම් ඉහළ පෙළේ ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත්වීමට මේ වනවිටත් තීරණය කර ඇතැයි 'අද' ට අනාවරණය වේ.