පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තරගයක් ලෙස පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ක්‍රීඩා සමාජය (Kalutara Physical Cultural Club) අතර ඊයේ (25දා) නිමාවූ තරගය, තරග පාවාදීමේ චෝදනාවකට ලක්ව තිබේ. මෙහිදී පානදුර ක්‍රීඩා සමාජය තරගවාරයේ ශූරතාව දිනාගැනීම සඳහාත්, කළුතර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් පහතට වැටීම (Demote) සිදුනොවීමටත් වගබලා ගනිමින් මෙම තරග පාවාදීම සිදුකර ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.
පසුගිය 23 වැනිදා (සඳුදා) ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ කළුතර කණ්ඩායම පන්දුවාර 103කදී සියලු දෙනා දැවී ලකුණු 390ක් රැස්කර ගැනීමට සමත්ව ඇති අතර, ඊට පිළිතුරු ලෙස පානදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 68.3කදී සියලු දෙනා දැවී ලකුණු 423ක් රැස්කරගෙන ඇත්තේ පන්දුවාරයකට ලකුණු 6.17ක වේගයක්ද රඳවා ගනිමිනි.
මෙහිදී පානදුර ඉනිම දෙවැනි දිනය (24දා) අවසානයේදී ලකුණු 180/02ක් වශයෙන් සටහන්ව ඇති අතර, ඊයේ (25දා) දිනයේදී සියල්ලන් දැවී ලකුණු 423ක් රැස්කර තිබේ. තරගය නැරඹූ පිරිස් 'අද'ට පවසා සිටියේ මෙම තරගයේදී කළුතර ක්‍රීඩා සමාජය පන්දු රකින්නන් යාර 30 වළල්ලේ සිට පමණක් පන්දු රැකීමේ යෙදුණු බවයි.
වර්ෂාව නිසා ඊෙය් (25දා) ප.ව. 1.30 වනවිට පානදුර ක්‍රීඩාංගණය අාවරණය කර තිබූ අයුරු
එමෙන්ම මෙම තීරණයට දැඩි විරෝධයක් දක්වා පානදුර ක්‍රිකට් නායක චාමර සිල්වා පිතිකරණයට පවා නොපැමිණ ඇතැයිද (උදරාබාධයක් යැයි පවසමින් නිවසට වී විවේකගෙන ඇත) තතුදත් ආරංචි මාර්ග පවසයි. අප මේ පිළිබඳව චාමර සිල්වාගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු අසනීප වී සිටින බව තහවුරු කළේය.
එසේම තරගයේ අවසන් දිනය වූ ඊයේ (25දා) දිනයේදී අස්වාභාවික ලෙස ලකුණු 607ක් පිතිකරුවන් රැස්කිරීම හා තරගවාරයේ හොඳම පන්දු යවන්නා වූ ගයාන් සිරිසෝමට දෙවැනි ඉනිමේදී පන්දුවාර 11.5කදී ලකුණු 88ක් යනාදී වශයෙන් දැඩි ප්‍රහාරයකට ලක්කිරීමද සැකයට තුඩුදෙන කරුණු බව මෙහිදී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙහිදී තරගයේ තීරණය සංවිධානාත්මකව ඉහළ පෙළේ බලධාරීන්ගේ අනුදැනුම මත වෙනස් කර ඇතිදැයි සැක පහවී තිබේ.
විශේෂයෙන් අවසන් දිනයේදී තරගයකට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබියදී පවා මෙවැනි ගැටලුකාරී ප්‍රතිඵලයක් ලැබීම බොහෝ දෙනෙකුට විමතිය දනවන කරුණක් වී තිබේ. එමනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වී පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි 'බී' කාණ්ඩයේ ඇතැම් කණ්ඩායම්වල නිලධාරීන්ගේ මතය වී තිබේ.
මෙහිදී කළුතර දෙවැනි ඉනිම ලකුණු 197/10කට සීමාවීමත් තරගයට වර්ෂාවෙන් බාධා සිදුවී තිබියදී පවා අවසන් දිනයේදී මෙවැනි ආකාරයට ඇදහිය නොහැකි අවසන් ප්‍රතිඵලයක් ලැබීමත් හේතුවෙන් පැහැදිලිවම පෙනීයන්නේ කොතැන හෝ වරදක් සිදුව ඇති බවයි.
එමෙන්ම මෙහිදී පානදුර ක්‍රීඩා සමාජයට තරගය ජයගැනීම සඳහා ලකුණු 165ක ඉලක්කයක් ලබාදී ඇති අතර, එය ඔවුන් කඩුලු 07ක් දැවී පන්දුවාර 13.4කදී සපුරාගෙන තිබේ.
එහි පන්දුවට පහරදීමේ වේගය පන්දුවාරයකට ලකුණු 12.21කි. එමෙන්ම කළුතර පන්දු යවන්නන් සියලුදෙනාම පන්දුවාරයකට ලකුණු 10කට වඩා ලබාදී තිබේ. එහිදී රුචිර තරින්ද්‍ර වැනි ඔවුන්ගේ දක්ෂ පන්දුයවන්නෙකුට එරෙහිව පන්දුවාර 06කදී ලකුණු 80ක් ලබාගැනීම දැඩි මතභේදයකට තුඩුදී තිබේ.
මෙහිදී මෙම තරගයෙන් අනතුරුව තරග 07කින් තරග 06ක් දිනා (ප්‍ර.ල. 113.35) වරාය අධිකාරී කණ්ඩායම ප්රසාල ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, පානදුර ක්‍රීඩා සමාජය තරග 07කින් තරග 05ක් පමණක් දිනා (ප්‍ර.ල. 115.56) පළමු ස්ථානයට පත්වීමට මෙවැනි මතෙභ්දයට තුඩුෙදන තරගයක තීරණය හේතුවූවා යැයි චෝදනා කරන පිරිස්ද වෙති.
අපි තරග පාවාදීමට විරුද්ධයි, එවැන්නක් සිදුවී නැහැ - - රවීන් වික්‍රමරත්න (පානදුර ක්‍රීඩා සමාජය)
"අපි තරග පාවාදීමට විරුද්ධයි. ඒ වගේම කිවයුතුයි මෙම තරගයේදී කිසිදු තරග පාවාදීමක් සිදුව නැහැ. තරග කමිටුවෙන් අපිට තීරණයක් දුන්නා 31 වැනිදාට කලින් තරග පවත්වා ඉවර කරන්න කියලා. අපිට ක්‍රීඩාංගණයක් තිබුණෙත් නැහැ. පසුව තරග කමිටුවෙන් අපිට දවසකට රු.80000 ගානේ රු. දෙලක්ෂ හතලිස් දහසක් (240,000) ගෙවලා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න කියලා කිවුවා.
නමුත් අපිට එච්චර ගෙවන්න සල්ලි නැහැ. අපි කිවුවා මග්ගොන ක්‍රීඩා කරන්නම් කියලා. පසුව පරිපාලනයෙන්ම අපිට කිවුවා කමක් නැහැ දවස් හයම ක්‍රීඩා කරමු කියලා. එයට විරුද්ධව යම් පුද්ගලයෙක් හිටියා. මටත් ඔහු කතා කළා. ඔහු හැමෝටම බැනලා තිබෙනවා මෙයට එකඟ වුණා කියලා දවස් හයක් ක්‍රීඩා කරන්න.
පානදුරට ලබන සුමානෙත් තරගයක් තිබෙනවා. පානදුරට පළවැනියා වීමට අවශ්‍ය නිසා තරග පාවාදීමක් සිදුවුණා කියන එක අපිට තර්කයක් විදිහට පිළිගන්න බැහැ. අපි ලබන සතියේ කුරුණෑගල යූත් සමග තරගය පරදින්නත් දිනන්නත් පුළුවන්. ඒ අනුවයි පානදුර ශූරතාව දිනාගන්නවාද නැත්නම් වරාය කණ්ඩායමට ශූරතාව යනවාද කියන එක තීරණය වෙන්නේ.
තරග පාවාදෙන්න අවශ්‍යනම් අපි ඔය විදිහට ක්‍රීඩා කරන්නේ නැහැ. එහෙනම් අපි කතා කරලා 200ක් ගහලා වැඩේ ඉවර කරනවානේ.
අනික චාමරට එල්ල කරන චෝදනාව. චාමර පිතිකරණයට ආවේ නැත්තේ බඩේ අමාරුවක් හැදිලා නිසයි. ඔහුට හිටගෙන ඉන්න පණ නැහැ. අනික ඒ ළමයා ගෙදරට වෙලා ඉන්නෙත්. මේවා බොරු කතා. ඇත්ත කතාව ඕක නෙවෙයි.
අනික යාර තිහේ ඉඳලා ක්‍රීඩා කරන්න මේක 19න් පහළ තරගයක් නෙමෙයි. මේ සියලු කතා අසත්‍යයයි. තරග පාවාදීමක් කොයිම ආකාරයකින්වත් සිදුවෙලා නැහැ. එහෙම සිදුකරන්න අපි ඉඩදෙන්නෙත් නැහැ"