(Update)
සූරියවැවදී අද (26දා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 165ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කෙසේ නමුත් තරග පහකින් සමන්විත මෙම තරගාවලිය තරග 3-2 ක් ලෙස පාකිස්තානු කණ්ඩායම පෙරමුණ ගත් හෙයින් තරගාවලියේ ජය ඔවුන්ට හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 369 දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි. මොහොමඩ් හෆීස් (37) හා අසර් අලි (35) යම් තරමක උත්සහයක් ගත්තද සෙසු සියලුම පිතිකරුවන්ට ජයග්‍රහණය අවැසි දායකත්වයක් ලබාදීමට නොහැකි විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුවන් කළ සචිත්ර සේනානායක කඩුලු 03ක් දවාළීය.
පාකිස්තානයට ලකුණු 369ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර සූරියවැවහිදී අද (26දා) පැවැති පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 368ක් රැස්කිරීමට සමත්විය.
මෙය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩාකළ ඉහළම ඉනිම වේ. මීට පෙර 1996 වසරේදී ලකුණු 349/9 ක් රැස්කිරීම ඉහළම ඉනිම විය. එමෙන්ම සූරියවැව ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය වන අතර, (මීට පෙර දකුණු අප්‍රිකාව/339/5), ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක ක්‍රීඩාකළ සිවුවැනි ඉහළම ඉනිමද වේ.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 369ක් ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ තරග 3-1 ක් ලෙස පාකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසුවන හෙයින්, මෙම තරගයේ ප්‍රතිඵලය ඔවුන්ගේ ජයග්‍රහණය මගහැරවීමට හේතුවක් නොවේ.