සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 136 කින් පරාජය කරමින් තෙවැනි එක්දින තරගය ජයගත් සංචාරක පාකිස්තාන කණ්ඩායම තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ අද (19දා) පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලබාදුන් ලකුණු 316ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 181 ක් පමණි. කෙත්තාරාම පිටියේ ඉතිහාසයේ කෙදිකවත් ලකුණු 300 සිමාව හඹාගොස් තරගයක් ජයගෙන නොමැත.
ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 42ක් ඇතළත දවා ගැනීමට අන්වර් අලී සමත්වීමත් සමග තරගය පාකිස්තානය දෙසට ඇදී ගියේය.
අන්වර් අලීගේ පන්දුවක් හමුවේ කුසල් දැවී යාම
නමුත් කඩාවැටුණු ඉනිම යම් තාක් දුරකට ගොඩනැංවීමට උපුල් තරංග හා ළහිරු තිරිමාන්න සමත්විය. ඔවුහු තෙවනි කඩුල්ල සඳහා ලකුණු 40 සබඳතාවක් ගොඩනැංවූහ. නමුත් යසීර් ෂාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට ලක්වී තරංග පිටියෙන් ඉවත්වීම හේතුවෙන් එම සබඳතාවද අවසන් විය. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 82/3ක් ලෙස දැක්වීය.
ඉන් අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම්ද ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 48ක් එක්වන විට අවසන් විය.පාකිස්තාන නවක දග පන්දු යවන ක්‍රීඩක ඉමාඩ් වසීම්ගේ පනදුවක් කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් පිටියෙන් ඉවත්විය. එය ඉමාඩ්ගේ මංගල කඩුල්ල වූ විය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 130/6ක් ලෙස සටහන් විණි.
චන්දිමාල් ඉමාඩ් වසීම්ගේ පන්දුවක් හමුවේ දැවීයයි
එහෙත් ළහිරු තිරිමාන්න හුදෙකලා ඉනිමක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ගෙන ගියේය. ඔහුගේ ඉනිමද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 142ක් වන විට අවසන් විය. තිරිමාන්න දැවි යන විට ඔහු ලකුණු 56ක් රැස්කර තිබුණි. තිරිමාන්න ඊයේ රැස්කළේ සිය 13 වැනි අර්ධ ශතකයයි. ඉනිමට තවත් ලකුණු දෙකක් එක්වන විට නවක ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනද දුවද්දී දැවී යාමකට හසුවිය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු තුන ලකුණු 11ක් තුළ දවාගැනීම්ට පාකිස්තාන පන්දු යවන්නො සමත්වුහ.
තිරිමාන්නගේ හුදෙකළා ඉනිම
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක් යසීර් ෂා දවා ගැනීමට සමත්විය
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායක අසාර් අලී මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි අසාර් අලී හා අහමඩ් ශේෂාඩ් පළමු කඩුල්ලට ලකුණු 93ක සබදතාවක් ගෙනැගීමින් පාකිස්තාන ඉනිමට ශක්තිමත් පදනමක් දැමීය. එම සබඳතාව අවසන් කිරීමට ලසිත් මාලිංග සමත්වූයේ අහමඩ් ශේෂාඩ් දවාගැනිමිනි.
මාලිංග ශේෂාඩ් දවාගැනීමෙන් පසු
පාකිස්තාන නායක අසාර් අලී පිටියෙන් ඉවත් කිරීමට තිසර පෙරේරා හා උපුල් තරංග සමත්වූයේ ඔහුව දුවද්දී දැවී යාමකට හසුකර ගනිමිනි. ඒ වන විට අලී ලකුණු 49ක් රැස්කර තිබූ අතර සිය ඒක්දින දිවියේ ලකුණු 1000 සීමාව පසුකිරීමටත් අසාර් අලී සමත්විය.
වේගයෙන්ම ලකුණු 1000 සීමාවට ළගාවූ හත්වැනි පිතිකරු අලිය
ඔහුගේ දැවී යාමෙන් පසුව පාකිස්තාන ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙසින් කඩුලු රකින ක්‍රිඩක සෆ්රාස් අහමඩ් පිටියට පිවිසියේය. ඔහු හා එක්වූ මොහොමඩ් හෆීස් තෙවැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් ගොඩනැංවිය. මුලු ලකුණු සංඛ්‍යාව 196දී සිය 26වැනි අර්ධ ශතකය රැස්කරගෙන සිටි මොහොමඩ් හෆීස්ගේ ඉනිම අවසන් කිරීමට දෙවැනි තරගයේදී මෙන් මෙම තරගයේදීත් සචිත් පතිරණ සමත්විය.
ඉන් අනතුරුව මුලු ලකුණු සංඛ්‍යාව 257දී වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි සෆ්රාස් අහමඩ් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට තිසර පෙරේරා සමත්විය. ඒ වන විට සෆ්රාස් සිය එක්දින දිවියේ දෙවැනි අර්ධ ශතකය රැස්කර තිබුණි.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු හා තරගයේ වීරයා සෆ්රාස් අහමඩ්
කෙසේ වෙතත් පාකිස්තානු පිතිකරුවන් අවසන් පන්දුවාර 10දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 93ක් උදුරාගත්තේය. ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කළ ලසිත් මාලිංගගෙන් ලකුණු 21ක් උදුරා ගැනීමට මලික් හා රිස්වාන් සමත්වූහ.
මොහොමඩ් රිස්වාන් හා සොයිබ් මලික් අවසන් පන්දුවාර කිහිපයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විනාශ කළහ
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව තරගයට අවතීර්ණ වූ අතර පාකිස්තාන කණ්ඩායමේ ඉමාර් වසීම් තරගයේදි එක්දින වරම් හිමිකරගත් අතර ඔහු කණ්ඩායමට ඇතුළත්වීම හේතුවෙන් සුල්ෆිකාර් බාබර්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. තරගයේ 35 වැනි පන්දුවාරයේදී වර්ශාව පතිත වුවත් එය තරගය දිගු වේලාවක් නතර කිරීමට තරම් ප්‍රමාණවත් නොවුණි. පිත්තෙන් දක්ෂතා දැක්වමින් හා දවාගැනීම් හතරකට සහාය දැක්වූ සෆ්රාස් අහමඩ් තරගයේ විරයා ලෙස සම්මාන ලැබීය. තරගාවලියේ සිව්වැනි එක්දින තරගය කෙත්තාරාම පිටියේම 22 දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
සචිත් පතිරණ මොහොමඩ් හෆීස් දවා ගැනීමේ පසු
තරගයේ 33 වැනි පන්දුවාරයේ තුවන්වැනි පන්දුවේදී ප්‍රේක්ෂකයන් අතර ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වයක් හේතුවෙන් තරගය විනාඩි 45කට පමණ ප්‍රමාදවිය. එම ගැටුම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන බව දැක ඇතිවූ ගැටුමක් නොවුණි. එය ප්‍රේක්ෂකයන් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමකි.
ඡායාරූප ශාත්න රත්නායක
පාකිස්තානය පන්දුවට පහරදීම 316/4 (පන්දුවාර 50)
සෆ්රාස් අහමඩ් 77 (පන්දු 74, 4x7), මොහොමඩ් හෆීස් 54 (පන්දු 64, 4x4), අසාර් අලී 49 (පන්දු 59, 4x4), අහමඩ් ශේෂාඩ් 44 (පන්දු 54, 4x4), සොයිබ් මලික් 42* (පන්දු 29, 4x5), මොහොමඩ් රිස්වාන් 35 (පන්දු 22, 4x2, 6x1), ලසිත් මාලිංග 80/1 (පන්දුවාර 10), සචිත් පතිරණ 49/1 (පන්දුවාර 10), තිසර පෙරේරා 63/0 (පන්දුවාර 10), ණුවන් ප්‍රදීප් 47/9 (පන්දුවාර 9)
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම 181/10 (පන්දුවාර 41.1)
ළහිරු තිරිමාන්න 56 (පන්දු 67, 4x4), කුසල් පෙරේරා 20 (පන්දු 18, 4x3), දිනේස් චන්දිමාල් 18 (පන්දු 30), සචිත් පතිරණ 19 (පන්දු 21, 4x1, 6x1) උපුල් තරංග 16 (පන්දු 21, 4x1), තිලකරත්න ඩිල්ෂාන් 14 (පන්දු 21, 4x1), අන්වර් අලී 24/1 (පන්දුවාර 05) රාහත් අලී 35/1 (පන්දුවාර 07) ඉමාඩ් වසීම් 28/2 (පන්දුවාර 7.1) යසීර් ෂා 29/4 (පන්දුවාර 10)