ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමත්, ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් පාකිස්තානු කණ්ඩායමත් අද (30දා) ඛෙත්තාරාම පිටියේ ආරම්භවන විස්සයි20 තරගාවලිය සඳහා තරග වැදීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙසිනුත්, තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙසිනුත් ජයගත් පාකිස්තාන කණ්ඩායම අද ආරම්භවන තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.
නමුත් සූරියවැව පිටියේදී පැවැති අවසන් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ශ්‍රී ලංකාවටද හොඳ මානසිකත්වයකින් තරගයට අවතීර්ණය විය හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට විස්සයි20 තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ මැයි මස 20දා එංගලන්තයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරගාවලියකට පිවිසෙන්නේ වසරකටත් අධික කාලයකට පසුවය.
තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට විවිධ විවේචන එල්ලවෙමින් තිබේ. ඒ ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් විවේක ගැන්වීමට තීරණය කිරීමත් සමගිනි. ඔවුන් දෙදෙනා විවේක ගැන්වීම තර්කානුකූල වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ටද දැන් විවේකයක් අවශ්‍ය තිබේ. ඔවුන් දෙදෙනා මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ද විවේක ගැන්වීමට තේරීම් කමිටුව කටයුතු කළේ නම් ඔවුන්ට පැමිණි චෝදනාවලින් නිදහස්වීමට අවස්ථාව තිබුණි.
පාකිස්තානය හා පැවැති එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත විස්සයි20 සංචිතයක් තරගාවලියට නම් කර තිබේ. වසර තුනකට පසුව චාමර කපුගෙදර නැවතත් විස්යසි20 කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර තිබේ.
මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩර්සේ, දසුන් ශානක, ධනංජයද සිල්වා, ෂෙහාන් ජයසූරිය, බිනුර ප්‍රනාන්දු හා චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයෝ විස්සයි20 සංචිතයට නවකයන් ලෙස එක්වෙති. තරගයේදී කඩුලු රැකීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට හිමිවීමට වැඩි ඉඩක් තිබේ. ඒ අනුව කුසල්ට අද තරගයේදී වෙනසක් කිරීමට අවස්ථාවක් ලැබේ. මන්ද යත් කුසල් කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස කටයුතු කරන විට පිත්තෙන් වැඩි දක්ෂතා දැක්වීමට සමත්ව තිබීම හේතුවෙනි.
චාමර කපුගෙදර, ජෙෆ්රි වැන්ඩර්සේ හා මිලින්ද සිරිවර්ධනට මෙම තරගයේදී අවසන් 11 දෙනා අතරට පිවිසීමට අවස්ථාවක් තිබේ. එක්දින තරගාවලියේදී ලසිත් මාලිංගට කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම මනාව ඉටුකිරීමට නොහැකිවුත් විස්සයි20 තරගාවලියේදී ඔහුගේ දක්ෂතා ඉස්මතු වේයැයි විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි20 නායකයාද මාලිංග වන හෙයින් ඔහු අනිවාර්යයෙන්ම දක්ෂතා අතරට පිවිසිය යුතුම වෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මාලිංග දැක්වූ දක්ෂතාව පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේදී ඉස්මතු වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස වෙනු ඇත. කෙසේ වෙතත් මාලිංග ඛෙත්තාරාම පිටියේදී එතරම් දක්ෂතා දක්වා නොමැති අතර තරග හතකදී ඔහු බිඳහෙළා ඇත්තේ කඩුලු පහක් පමණි. මේ අතීතය වෙනස්කිරීමට මාලිංග අද තරගයේදී උත්සාහ කළ යුතුවෙයි.
ඛෙත්තාරාම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට විස්සයි20 තරගයකට සහභාගීවී ඇත්තේ 2013 වසරේ අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. එම තරගය ශ්‍රී ලංකාව පරාජයවී ඇති අතරම ඛෙත්තාරාමයේ විස්සයි20 තරගයක් පැවැත්වෙන්නේද අවුරුදු 2කට පසුවය.
ඛෙත්තාරාමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග හතකට සහභාගීවී එයින් තරග හයක්ම පරාජයට පත්ව තිබේ. ජයග්‍රහණය කර ඇති එකම තරගයද ජයගෙන ඇත්තේ පාකිස්තානයට එරෙහිවය. පාකිස්තානු කණ්ඩායම මෙම පිටියේදී තරග පහකට ක්‍රීඩා කර එයින් තරග 3ක් ජයගෙන තිබේ.
මේ අනුව විස්සයි20 තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඛෙත්තාරාමය වාසිදායක නොවේ. සියලු කරුණු අනුව පාකිස්තානය ඉදිරියෙන් සිටින බව පැහැදිලිව පෙනේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම තරග දෙකකට නම් කළ පාකිස්තානු කණ්ඩායමේද වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ. නායක සහීඩ් අෆ්රිඩී, උමාර් අක්මාල් හා සොහායිල් තන්වීර් ඒ අතර ඉදිරියෙන්ම සිටින අතර, නිරන්තරයෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ වෙති. කෙසේ වෙතත් අද තරගය වඩාත් තියුණු තරගයක් බවට පරිවර්තනය වීමට වැඩි ඉඩක් තිබේ. පිටියේ අවාසනාව ශ්‍රී ලංකාවට පරාජය කළ හැකිනම් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනු ඇත.
ඡායාරූප ශාන්තර රත්නායක