බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට නවක ක්රීඩකියින් මෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ද පැමීණ ඇති බව ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග පැවසීය. බංග්ලාදේශය සමගින් හෙට (25දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් දැක්වීය.
"ටෙස්ට් තරගාවලියෙන් පස්සෙ මේක වෙනස් අංශයකින් (එක්දින) අළුත් තරගාවලියක් . මේකට හොඳ සූදානමක් සියළුදෙනාගේම තියෙනවා. එක්දින තරගාවලියට අළුත් ක්‍රීඩකයින් වගේම තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න වගේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඇවිල්ල ඉන්නවා.
ටෙස්ට් තරගාවලියේ අන්තිම තරගය පරාජය වුණාට පස්සෙ කණ්ඩායමේ හැම ක්‍රීඩකයින්ම ඉන්නෙ මේ එක්දින තරගාවලිය ජය ගන්න. අවසන් වරට පහුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී අපි සහභෘගි වුණ එක්දින තරගාවලියේදී අසාර්ථක වුණත් අපිට එහිදී පන්දුවාර විස්ස තරගාවලිය ජය ගන්න හැකි වුණා." යැයි පැවසීය.
මෙහිදී තරගය පැවැත්වෙන රංගිරි දඹුලු ක්‍රීඩාංගණය පිළිබඳව අදහස් දැක්වූ උපුල් තරංග, පැවසුයේ පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරුවක් ක්‍රීඩාංගණයේ තිබුණත් රාත්රියේදී පන්දු යවන්නනන්ටත් වාසි විය හැකි බවයි.
මෙම තරගාවලිය , ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් එක්දින තරගාවලිය වන අතර මෙම තරගාවලියෙන් පසු කණ්ඩායමෙ ශ්‍රේණිගත මට්ටම් ඉහළ නංවා ගැනීමට කණඩායමේ කතිකාවත කෙබඳුදැයි මාධ්‍යෙවිදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දුන් තරංග,
"විශේෂයෙන් ඒ පිළීබඳ සාකච්ඡා පැවැත්වුවේ නෑ. කණ්ඩායමක් විදිහට අපි හැම වෙලේම උත්සාහ කරන්නෙ සහභාගි වෙන හැම තරගයම ජයග්‍රහණය කරන්න. මීට අවුරුදු කිහිපයකට පෙර අංශ තුනෙන්ම අපි ඉහළින් සිටියත් දැන් ටෙස්ට් ,එක්දින හ පන්දුවර විස්ස යන අංශ තුනෙන්ම අපි රැඳී සිටින්නේ පහළින්. කණ්ඩායමක් විදිහට ඒ තත්වය මගහැර ගන්න උත්සාහ කරනවා. නමුත් අපිට මේකෙ ජයග්‍රහණය බෙහෙවින් වැදගත් වෙයි. ශූරයින්ගේ කුසලානයේ විශ්වාසය වැඩි කර ගන්න." යැයි පැවසීය.
මෙහිදි බංග්ලාදේශය සමගින් පැවති ටෙස්ට් තරගාවලියේදී පෙන්වූ දුර්වල පන්දු රැකීමේ විලාශය පිළිබඳ අදහස් දැක්වූ තරංග,
"මම හිතන්නෙ තරගයට ගියාම ඒකෙඅවධානයෙන් ඉන්න ඕන තරගය පුරාවට. ඒඅවධානය නැතිවුණොත් තමයි අඩුපාඩු සිද්ධ වෙන්නෙ. අපි ටෙස්ට් තරගාවලියෙන් පස්සෙ පුහුණුවීම් සැසි 4 කට සහභාගි වුණා. ඒකෙදි අපි සියළුම දෙනා පන්දු රැකීමට විශේෂ අවධානයක් යොමු කළා. විශේෂයෙන් පුහුණුකරුවන් එක්ක සාකච්ඡා කරල පුහුණුවිම්වලදි කීඩකයා සතුටු වෙන ආකාරයට එක එක පුහුනු සැසි පවත්වල පන්දු රැකීමේ දක්ෂතා උඩට ගන්න තමයි බලාපොරොත්තු වුණේ" යැයි පැවසීය.
මෙහිදී තරගාවලියට නම් කොට සිටි ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීම පිළිබඳවද , තිසර පෙරේරා කණ්ඩායමට පැමිණීම පිළිබඳවද අදහස් දැක්වූ තරංග,
"කුසල් පෙරේරා කණ්ඩායමෙන් එළියට ගිහිල්ල දිස්ත්‍රික් හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් වල හොඳින් ලකුණු රැස්කරමින් ඉන්න වෙලාවේදි තමයි ආබාධය ලක් වුණේ. ඒක අවාසනාවක්. නමුත් තවත් ක්‍රීඩකයින් ඉන්නවා.. ඔවුන්ට හොඳ අවස්ථාවක් දස්කම් දක්වල කණ්ඩායමේ තැන තියා ගන්න. ඒ වගේම තිසර පෙරේරා කණ්ඩායමේ ඉන්න එක ගැන සතුටු වෙනවා. ඔහුට ඕනෑම අවස්ථාවකදී තරගයක් වෙනස් කරනන්න පුළුවන් ක්‍රීඩකයෙක්. පහුගිය කාලෙ ඔහුගේ දස්කම් ආවෙ නෑ. නමුත් ශ්‍රි ලංකා ඒ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළා. ඔහු වගේ ඕනම තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එක ශක්තියක්" යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා පැවසුවේ කණ්ඩායමේ අවසන් මාස කිහිපයේදී එක්දින තරග වලට සහභාගි නොවූ බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව ළමු එක්දින තරගයට මුහුණදීමේදී ප්‍රවේශම් වන බවයි. එමෙන්ම ශ්‍රි ලංකා කණ්ඩායමේ හොඳ පන්දු යවන්නන් සිටින බවද ඔහු අවධාරණය කලේය.
"අවසන් තරගය් ජයග්‍රහණය එක්දින තරගාවලියේ දක්ෂතා වැඩි කර ගන්න උපකාරී වෙයි. නමුත් පසුගිය මාස කිහිපයේදී අපි එක්දින තරග වලට සහභාගි වෙලා නෑ. ඒ නිසා පළමු තරගයට ගොඩක් පරිස්සමින් මුහුණ දෙනවා.මේක අපේ රටේ ක්‍රීඩා නොකරන නිසා ක්‍රීඩකයින්ටත් හොඳ අවස්ථාවක් වෙයි. කණ්ඩායම දිහා බැලුවොත් කණ්ඩායමේ පිතිකරුවන් හොඳ දක්ෂතා දැක්වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒක්දින කණ්ඩායමේ හොද පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ව නොසලකා හරින්න බෑ" යැයි පැවසීය.
තරගය හෙට ශ්‍රී ලකා වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වන්නේ දිවා-රාත්‍රී තරගයක් ලෙසිනි.