පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පිළිබඳව කනගාටු වන බවත්, ලැජ්ජාවට පත්වෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊවේ (15දා) පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට අමතර ලකුණු 20-30ක් එක්වූ බවත් ඔහු පැවසීය.
"පන්දු රැකීම ගත්තොත් බොහොමත්ම කනගාටුයි. ඉතාමත් ලැජ්ජයි පන්දු රැකීමේ විදිය ගැන. කණ්ඩායමක් වගේම මෙන්ම නායකයෙක් වශයෙන් මම ඒක පිළිගන්නවා. මේ වගේ පන්දු රැක්කොත් තරගාවලියේ ඉදිරියට යන්න අමාරුයි. ඒ ගැන කතා කරන්න ඇත්තටම ලැජ්ජයි. අපිට මේ වගේ පන්දු රකින්න බෑ. ඒ ගැන අපි අනිවාර්යයෙන්ම සලකා බලනවා. තව දින දෙක තුනක් තියෙනවා ඊළඟ තරගයට කලින්. අපි හොඳින් පන්දු රැකලා එය හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා"
තරගය ජයග්‍රහණය කිරීම කුසල්ගේ ආරම්භය වැදගත්වූ බවත්, චන්දිමාල් නවක ක්‍රීඩකයන් හා එක්ව කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවූ බවත් ඔහු පවසා සිටියේය.
"කුසල්ගේ ආරම්භය අපිට ගොඩක් වැදගත් වුණා. අපි හිටපු විදියට මම හිතුවේ 40 වැනි පන්දුවාරයේදී අපිට ජයගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ගොඩක් කඩුලු පාකිස්තානයට ලබාදුන්නා. දිනේෂ් චන්දිමාල් ඒ කඩුලු වැටෙන එක නවත්තලා. මිලින්ද සිරිවර්ධන හා සචිත් පතිරණත් එක්ක නැවතත් අපිට තරගය ගෙනාවා. මිලින්ද සිරිවර්ධන කියන්නේ ඉතාමත් හොඳ පිතිකරුවෙක්. ඒ නිසා තමයි අපි අංක හත පිතිකරුවා ලෙස යොදාගත්තේ. ඔහුට පළමු පෙළ තරග ක්‍රීඩා කරලා හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ වගේමයි සචිත් පෙරේරාත්. ඔහු තිසරට කලින් පිතිකරණයට ආවා"
එක්දින තරගවලහිදී ළහිරුගේ අසාර්ථක වීම පිළිබඳව අදහස් දැක්වූ ඇන්ජලෝ පැවැසුවේ ඔහු පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත්, ඒ පිළිබඳව තේරීම් කමිටුව හා සාකච්ඡා කරන බවත්ය.
වාර්තාවලට යනවට වඩා බැලුවේ හොඳ ආරම්භයක් ලබාදෙන්න
- ආරම්භක පිතිකරු කුසල් පෙරේරා
ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ අසීරු ඉලක්කයක් බැවින් වාර්තා පිළිබඳව අවධානය යොමු නොකර වේගයෙන් ලකුණු රැස්කිරීමට කටයුතු කළ බව ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පැවසීය.
"අපිට ලැබුණේ තරමක් අපහසු ඉලක්කයක්. මමයි ඩිල්ෂානුයි උත්සාහ කළේ ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරන්නයි. වාර්තාවලට යනවට වඩා බැලුවේ හොඳ ආරම්භයක් ලබාදීලා හොඳට ක්‍රීඩා කරන්න. පස්සේ තමයි දැනගත්තේ වාර්තාව ගැන.
පසුගිය මාස කිහිපය තුළ පොඩි පසුබෑමක් තිබුණා. මම උත්සාහ කළා මගේ සාමාන්‍ය ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට. මම හැමවේලාවෙම බලන්නේ පන්දුයවන්නට පහර දෙන්න. සමහර දවස්වල වැරදීම් වෙනවා. ඒක ක්‍රීඩාවේ හැටි. මට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මම හිතනවා මට හරි වෙලාවෙදී අවස්ථාවක් ලැබෙයි කියලා" යැයි ඔහු පැවසීය.