ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වැඩි වශයෙන් ටෙස්ට් තරග ක්‍රීඩාකර අත්දැකීම් නොමැති වුවත් එය පරාජය සම්බන්ධයෙන් නිදහසට කරුණක් නොවන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පෙරේදා (07දා) පල්ලෙකැලේදී අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේ, කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩාකිරීම පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවයි. එමෙන්ම ලකුණු 376ක ඉලක්කයක් පාකිස්තානු පිතිකරුවන් හඹායනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවූ බව පවසා සිටියේය.
ඡායාරූපය - ශාන්ත රත්නායක
"කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධාන හේතුවක් වුණා. පළමු ඉනිමේදී පාකිස්තානු පන්දු යවන්නෝ අපිට ලොකු පීඩනයක් එල්ල කළා. නමුත් අපේ පිතිකරුවෝ ඔවුන්ට එරෙහිව ඉතාමත් හොඳින් ක්‍රීඩාකළා. උපුල් තරංග, ජෙහාන් මුබාරක් විශේෂයෙන් දිමුත් කරුණාත්න අගනා ඉනිම් ක්‍රීඩා කළා. දෙවැනි ඉනිමේදී අපි ලකුණු 376ක ඉලක්කයක් ලබාදුන්නට මම හිතුවේ නැහැ මේ තරගය පරාජයට වෙයි කියලා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගොඩක් හොඳින් ඔවුන්ගේ කාර්ය සිදුකළා. නමුත් අපට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගැනීමට නොහැකි වුණා. ඒ ගැන ගොඩක් කනගාටුවෙනවා."
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් 2000 වසරෙන් පසුව පළමු වතාවට මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර නොමැතිව මෙම තරගයට ක්‍රීඩා කළේය. මහේල පසුගිය වසරේදී ටෙස්ට් පිටියෙන් විශ්‍රාමගත් අතර, සංගක්කාරද මෙම තරගයට ක්‍රීඩා නොකරන බව දන්වා සිටියේය. කෙසේ නමුත් මෙම තරගය ආරම්භවීමට පෙර සිටම සංගා - මහේල සංයෝගය නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් පහසු නොවෙනු ඇති බව ක්‍රීඩා විචාරකයෝ අවධාරණය කර සිටියහ.
ඔවුන් දෙදෙනා නොමැතිව ක්‍රීඩාකිරීමට සිදුවීම ගැන අදහස් දැක්වූ මැතිව්ස්, "මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කර තිබෙන සේවය කියලා නිම කරන්න බැහැ. නමුත් කාටවත් හැමදාම ක්‍රීඩාකරන්න බැහැ. අපි හැමෝම ඒ අවස්ථාවලට මුහුණදෙන්න සිදුවෙනවා. අපි ඉවත් වෙනකොට තව පිරිසක් එනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව හැමදාමත් ඉදිරියට යනවා. දැන් ඉන්න ක්‍රීඩකයන්ට අත්දැකීම් බහුල නැති වුණත් ඔවුන් ඉතාමත් හොඳ ක්‍රීඩකයන්. මේ කාලසීමාව වැදගත් කාලසීමාවක්. විශේෂයෙන් ක්‍රීඩකයන් මාරුකරන්න හොඳ නැහැ. අපට අවශ්‍ය ප්‍රතිඵලය නොලැබුණත් ඉදිරියේදී ඒවා මඟහැරීයයි. කාලයත් සමග ක්‍රීඩකයෝ දක්ෂතා අතරට එයි.
මෙම තරගාවලියේදී ළහිරු තිරිමාන්න ලකුණු අතර නොසිටියත්, ඔහුටම චෝදනා එල්ල කරන්නේ නැහැ. පිතිකරුවන්ට සමහර අවස්ථාවලදී මෙවැනි දේවල්වලට මුහුණදෙන්න සිදුවෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටත් මෙය සාමාන්‍ය දෙයක්. මම විශ්වාස කරනවා ඔහු ඉදිරියේදී හොඳින් ක්‍රීඩාකරයි කියලා. අපි අවුරුදු 15ක් තිස්සේ සංගා ක්‍රීඩා කරනවා දැකලා දැකලා, නමුත් නවක ක්‍රීඩකයන්ව ඒ මට්ටමින් මනින්න හොඳ නැහැ. කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයෝ වැඩිපුර ටෙස්ට් තරග ක්රීඩාකරලා නැහැ. මම විශ්වාස කරනවා ටෙස්ට් තරගවලට පරිණත ක්‍රීඩකයන් සිටිය යුතුයි. නමුත් කණ්ඩායමේ පරාජයට එය නිදහසට කරුණක් නෙමෙයි"
මෙම තරගයට රංගන හේරත් ක්‍රීඩා නොකළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කටයුතු කළේ තරිඳු කෞෂාල් පමණි. එක් දඟපන්දු යවන්නෙකු පමණක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට අමතර හේතුවක් වූවා දැයි සලකා බලන බව මැතිව්ස් අවසන් වශයෙන් පවසා සිටියේය.
"අවසන් දින දෙකේදී තණතිල්ලේ සහයෝගය පන්දු යවන්නන්ට තිබුණේ නැහැ. විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ට. පළමු තරග දෙකේදී පාකිස්තානු පිතිකරුවෝ රංගන හේරත් පහසුවෙන් ක්‍රීඩාකළ නිසා මෙම තරගයට පමණක් ඔහුට යොදා නොගෙන තරිඳු කෞෂාල්ගෙන් පමණක් ක්‍රීඩාකිරීමට තීරණය කළා. කෞෂාල් දෙවැනි තරගයේදී ඉතාමත් හොඳින් ක්‍රීඩාකළා. ඒ වගේම මේ තණතිල්ලේ ගොඩක් තණකොළ තිබුණා නිසා දඟපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් ක්‍රීඩාකරන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ. පාකිස්තානු කණ්ඩායමත් ක්‍රීඩාකළේ එක දඟපන්දු යවන්නෙකුගෙන්. කෞෂාල් පළමු පෙළ තරගවල වැඩි වශයෙන් තරග ක්‍රීඩාකර තිබෙන නිසා ඒ විශ්වාසය මත ඔහුව යොදාගත්තේ. එමනිසා එක පන්දු යවන්නෙකුගේ පීඩනය නිසාද පරාජය වුණේ කියලා අපි සලකල බලන්න වෙනවා." යනුවෙන් පවසා සිටියේය.