(Update) ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් අතැතිව ලකුණු68ක් පසුපසින් සිටියි. සංගා හා කෞෂාල් නොදැවී පිටියේ රැඳී සිටිති.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 138කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ තරිඳු කෞෂාල් 5/42 ක් ලෙස කඩුලු දවාළීමට සමත්විය. සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ තරිඳුගේ හොඳම පන්දුයැවීම මෙය වේ. ඊට අමතරව ධම්මික ප්‍රසාද් කඩුලු 03 ක් (3/43) දවාළීමට සමත්වූ අතර, දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවාළීය. මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ ශ්‍රී ලංකාවේ සිටින නිත්‍ය දඟපන්දු යන්නා වන රංගන හේරත් එකඳු පන්දු වාරයක් හෝ මෙම ඉනිමේදී නොයැවීමයි. බිඳවැටුණු පාකිස්තානු ඉනිමේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවා වූ මොහොමඩ් හෆීස් ලකුණු 42 ක් රැස්කළේය.
මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී තිබූ අතර, පළමු තරගයට ක්‍රීඩාකළ ඩිල්රුවන් පෙරේරා වෙනුවට තරිඳු කෞෂාල් හා නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබුණි. මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වන 23 හැවිරිදි චමීර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 129 වැනි ක්‍රීඩකයාය. අද (26දා) තරගයේ දෙවැනි දිනයයි.
පාකිස්තාන පළමු ඉනිම 138/10 (පන්දුවාර 42.5)
මොහොමඩ් හෆීස් 42 (පන්දු 75, 4x5), අසර් අලි 26 (පන්දු 45, 4x4), සසීර් ෂා 15 (පන්දු 17, 4x1, 6x1), සෆ්රාස් අහමඩ් 14 (පන්දු 29), තරිඳු කෞෂාල් 5/42 (පන්දුවාර 10.5), ධම්මික ප්‍රසාද් 3/43 (පන්දුවාර 13)
දුෂ්මන්ත චමීර 1/33 (පන්දුවාර 10)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 70/1 (පන්දුවාර 32 )
දිමුත් කරුණාරත්න 28 (පන්දු 67, 4x3), කෞෂාල් සිල්වා 21* (පන්දු 90, 4x3), කුමාර් සංගක්කාර 18* (පන්දු 36, 4x1), ජුනයිඩ් ඛාන් 1/26 (පන්දුවාර 10)
පාකිස්තානු පළමු ඉනිම ලකුණු 138කට සීමාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළුවෙලාවකට කර සමත්විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තරිඳු කෞෂාල් ලකුණු 42කට කඩුලු 05 ක් බිඳහෙලදීමට සමත්විය. තරිඳුගේ දෙවැනි ටෙස්ට් තරගය මෙන වන අතර, ඔහු කඩුලු 05 ක් දවාලූ පළමු අවස්ථාව මෙය වේ. ඔහුට අමතරව ධම්මික ප්‍රසාද් ලකුණු 43කට කඩුලු 03 ක් දවාලීය.
ඡායාරූප ශාන්ත රත්නායක
දිවා විවේකය වනවිට පාකිස්තානය
දිවා විවේකය සඳහා තරගය මේ වනවිට තවතා ඇති අතර, පළමුව පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 70 ක් රැස්කරගෙන සිටියි.
දිනයේ පළමු කඩුල්ල ලෙස අහමඩ් ශෙසාඩ් දැවීගියේය. ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ කුමාර් සංගක්කාර අතට උඩපන්දුවක් ලබාදී ඔහු දැවීයන විට එක් ලකුණක් රැස්කරගෙන සිටියේය. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 26 ක් රැස්කරගෙන සිටිඅසාර් අලි පිටියෙන් ඉවත්විය. ධම්මික ප්‍රසාද් මෙම කඩුල්ලේද හිමිකරුවා විය.
මේ වනවිට නොදැවී කඩුල්ලේ රැදීසිටින ආරම්භක පිතිකරු මොහොමඩ් හෆීස් ලකුණු 31 ක් හා යුනිස් ඛාන් ලකුණු 02 ක් රැස්කරගෙන සිටියි.
ඡායාරූප ශාන්ත රත්නායක
දුෂ්මන්ත චමීර ටෙස්ට් වරම් දිනයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (25දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය. ඔහු ටෙස්ට් වරම් දිනූ 129 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයාය.
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වන චමීර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදුකළ නවසීලන්ත සංචාරයේදී එක්දින වරම් දිනාගැනීමට සමත්විය. 23 හැවිරිදි ඔහු මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 03කට ක්‍රීඩාකර කඩුලු 05 ක් බිඳහෙලා ඇත. නුවන් ප්‍රදීප් වෙනුවට චමීර මෙම තරගයට කැඳවා ඇත. ඊට අමතරව පළමු තරගයේදී ආබාධයකට ලක්වූ ඩිල්රුවන් පෙරේරා වෙනුවට තරිඳු කෞෂාල්ද අද තරගයට කැඳවා ඇත.
අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), කිත්රුවන් විතානගේ, තරිඳු කෞෂාල්, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, රංගන හේරත්
පාකිස්තාන කණ්ඩායම
මොහොමඩ් හෆීස්, අහමඩ් ශෙසාඩ්, අසර් අලි, යුනිස් ඛාන්, මිස්බා උල් හක් (නායක), අසාද් ෂෆික්, සෆ්රාස් අහමඩ් (කඩුලු රකින්නා), වහබ් රියාස්, ජුනයිඩ් ඛාන්, යසිර් ෂා, සුල්ෆිකර් බාබර්