දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා මුහුණදුන් තරග දෙකම පරාජයවීමට සිදුවී ඇති අතර, එම වටයේ මුහුණුදෙන තෙවැනි හා අවසන් තරගය දකුණු අප්‍රිකාව සමගින් හෙට (10දා) පැවැත්වේ.
සිංගප්පූරුව 56 – 43 ශ්‍රී ලංකාව
තරගාවලිය ආරම්භකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා (07දා) වත්මන් ආසියානු ශූර සිංගප්පූරු කණ්ඩායම සමගින් තරඟ වැදුණ අතර, එම තරගයෙන් ගෝල 56 – 43 ක් ලෙස පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
මෙම තරගයේ පළමු වටය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 12 -12 බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවිය. කෙසේනමුත් දෙවැනි වටය ගෝල 18 -11 ලෙස සිංගප්පූරුව ජයගත්හ. තියුණු සටනකින් පසු තෙවැනි වටය ගෝල 11 – 09 ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. නමුත් තීරණාත්මක අවසන් වටයේදී ප්‍රබල සටනක් ලබාදුන් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ එම වටය ලකුණු 17 – 09 ලෙස ජයගත් අතර, ඒ අනුව සමස්ත තරගයෙන් ගෝල 56 – 43 ක් ලෙස ජයගැනීමට සිංගප්පූරු කණ්ඩායමට හැකිවිය.
මෙම තරගයට සහභාගීවනවිට ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්හි 22 වැනි ස්ථානයේ පසුවූ අතර, සිංගප්පූරුව 15 වැනි ස්ථානයේ පසුවිය.
මලාවි 101 – 18 ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08දා) ලෝක ශ්‍රේණිගතකිරීම්හි 06 වැනි ස්ථානයේ පසුවන මලාවි සමගින් තරග වැදුණු අතර, එම තරගයෙන්ද 101 – 18 ලෙස ගෝල 83ක දැවැන්ත පරාජයක් අත්විදීමට සිදුවිය.
මෙහි පළමු වටය ගෝල 23 – 03 ක් ලෙස ජයගත් මලාවි ක්‍රීඩිකාවෝ දෙවැනි වටය ගෝල 29 – 03 ක් ලෙස ජයගත්හ. තෙවැනි හා සිව්වැනි වටයන්හිදී කිසිදු අයුරකින් ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබානොදුන් මලාවි ක්‍රීඩිකාවෝ පිළිවෙලින් ගෝල 22 – 05 හා ගෝල 27 – 07 ක් ලෙස එම වට ජයගත්හ.