ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කර ආර්. ප්‍රේමදාස පිටියේදී පැවති තෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 18 ජයක් ලබා ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.
තරගයේ ලකුණු 216 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමට කිහිපවිටක්ම වර්ෂාවෙන් බාධා පැමිණියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44 කදී ලකුණු 209 ක ඉලක්කයක් හිමි විය. කෙසේ වෙතත් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අවසාන වශයෙන් තරගය නතර කරන විටදී ශ්‍රී ලංකාව පන්දුවාර 40.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 170 ක් රැස්කිරීමට සමත්විය. නමුත් ඒ වනවිට ශ්‍රී ලංකාව ලකුණු 189 ක් ලබා ගත යුතුව තිබිණි. ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කළ නිපුණි හංසිකා නොදැවී ලකුණු 50 ක් රැස් කළාය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 215/3 ක් රැස්කිරීමට සමත්විය.
කොදෙව් ඉනිම ඔසවා තැබූ ස්ටෙෆානි ටේලර් නොදැවී ලකුණු 86 ක් රැස්කළාය.
මේ අනුව තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගෙන බ.ඉ.කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය බදාදා (13දා) මුහුණ දුන් පළමු තරගයෙන් ද කොදෙව් කණ්ඩායම හමුවේ කඩුලු 05 ක පරාජයක් අත්විඳීමට සිදුවිය. දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.
කෙසේ නමුත් කොදෙව් - ශ්‍රී ලංකා තරගාවලියේ පළමු තරගය හැර ඉතිරි තරග තුන පමණක් 2017 එක්දින ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීමේ ප්‍රසාද ලකුණු සටහනට දායක කරගන්නා හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට හා මෙම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් තරගාවලියේ ඉතිරි තරගය ජයගත යුතුය. තරගාවලියේ සිවුවැනි හා අවසන් එක්දින තරගය හෙට (20දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.