වසර කිහිපයකට පසුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත එක්දින තරගාවලියක් දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට උදාවී ඇත. ඒ සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය හරහාය. එහි පළමු තරගය හෙට (11දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටින තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම තරුණ මෙන්ම අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයෝ වෙති. එමෙන්ම පාකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් හෆීස් සහ සොයිබ් මලික් හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාමද අත්දැකීම් අඩු තරුණ නවක ක්‍රීඩකයන්ය.
තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙසින් පරාජයේ අමිහිරි වේදනාව අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා සිදුවිය. පාකිස්තානු කණ්ඩායමක් එවැනි දක්ෂතාවක් දැක්වූයේ වසර 9කට පසුව වීමද විශේෂත්වයකි. එහෙයින් වසර 9කට පසුව ලද එම සුවිශේෂී තරගාවලි ජයත් සමගින් පාකිස්තානු කණ්ඩායම එක්දින තරගාවලියට එක් වන්නේද ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා මඳක් ඉදිරියෙන් සිටිමිනි. එහෙත් එක්දින තරගාවලිය සඳහා නම්කළ පාකිස්තානු සංචිතය ද තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත බැවින් අත්දැකීම් ඇති ක්‍රීඩකයන් නොමැතිවීම පාකිස්තානු කණ්ඩායමට ගැටලුවකි.
කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව, විශේෂයෙන්ම මහේල සහ සංගක්කාර නොමැතිව තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කණ්ඩායම හමුවේ ඉදිරිපත් කළ දක්ෂතා ඉහළ මට්ටමක පැවැති බව අමතක නොකළ යුතුය. මෙම තරුණ ක්‍රීඩකයන් අත්දැකීම් ලබමින් ඉදිරියට ගමන් කිරීමේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර දෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එබැවින් එළැඹෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගෙන් පාකිස්තානු කණ්ඩායමට පීඩනයක් එල්ලවනු ඇතැයි අපගේ විශ්වාසයයි.
එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මහේල සහ සංගක්කාර එක්දින තරග බිමෙන් සමුගත් බැවින් ඔවුන්ගේ ස්ථානයන් සඳහා තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරග කරමින් සිටියි. ඒ අනුව ඩිල්ෂාන්ගේ සහායකයා සඳහා ළහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරා අතරින් කෙනෙකු තෝරා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ බැවින් මෙම තරගාවලියේදීද ඩිල්ෂාන් සමගින් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට ළහිරුට අවස්ථාව හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
සංගක්කාර තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ බැවින් ඒ සඳහා උපුල් තරංගට අවස්ථාවක් හිමිවූ අතර උපුල් ලද අවස්ථාවෙන් තේරීම් කමිටුවේ විශ්වාසය දිනාගැනීමට සමත්විය. එහෙයින් පළමු එක්දින තරගයේදීද පිතිකරණ සංයුතියේ අංක 3 ස්ථානයේ උපුල් තරංග ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කිරීමට කුසල් ජනිත්ට අවස්ථාවක් හිමිනොවුනහොත් අංක 3 ස්ථානය සඳහා ඔහුව යොදාගැනීම වෙනුවෙන්ද තේරීම් කමිටුවේ අවධානය යොමුවිය හැකිය.
මහේලගේ ස්ථානය වෙනුවෙන්ද මේ වනවිට කණ්ඩායම තුළ ක්‍රීඩකයන් තිදෙනෙකුම සිටින අයුරු දැකගත හැකිය. ඒ දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන් සහ නායක ඇන්ජලෝ මැතිව්ස්ය. මේ දෙදෙනා අතරින් මැතිව්ස් අංක 5 ස්ථානයේ සිය දක්ෂතා හොඳින් ඉදිරිපත් කරන බැවින් අංක 4 ස්ථානයට වඩාත්ම සුදුසුම ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල්ය. එමෙන්ම පළමු තරගයට අශාන් ක්‍රීඩා කරන්නේ නම් ඔහුට අංක 6 ස්ථානයේ පිතිකරණයේ යෙදිය හැකිය.
තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, සචිත්ර සේනානයක, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල් පන්දු යවන්නන් ලෙස පළමු තරගයට එක්වනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඔවුන් අතරින් තිසර පෙරේරා සහ සීක්කුගේ ප්රසන්නද පිතිකරුවන් ලෙසින් වේගයෙන් ලකුණු 20ක් හෝ 30ක් ලබාගත හැකි ක්‍රීඩකයන් බැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර වාසියකි. එමෙන්ම ඩිල්ෂාන් සහ මැතිව්ස්ට පන්දු යැවිය හැකි බැවින් නිත්‍ය පිතිකරුවන් හත් දෙනෙකු සමගින් තරග වැදීමේ අවස්ථාවද ශ්‍රී ලංකා කණ්ඩායම සතුය. එසේ පිතිකරුවන් හත් දෙනෙකු සමගින් තරග වදින්නේ නම් තිසර දඹුල්ල තණතිල්ලේ හොඳින් දක්ෂතා දක්වා ඇති පන්දු යවන්නෙකු බැවින් ලසිත්ගේ සගයා ලෙසින් යොදාගත හැකිය.
ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායම මෙහෙයවූ මිස්බා උල් හක් සහ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ නිරන්තරයෙන්ම හොඳින් දක්ෂතා ඉදිරිපත් කළ යුනිස් ඛාන්ද එක්දින කණ්ඩායමට එක්නොවීම පාකිස්තානු කණ්ඩායමට අවාසියකි. ඔවුන් දෙදෙනාගේ අත්දැකීම් තරුණ නායක අසාර් අලීට නොලැබීම ඔහුගේ පීඩනය වැඩි කිරීමට හේතුවක් වනු ඇත. නායකත්වය හිමිවූ පසු අසාර් අලී ලකුණු අතර හිඳිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදීද අසාර් අලී ලකුණු අතරට පැමිණියේය. එයද අසාර්ගේ විශ්වාසය තව තවත් වැඩි කරනු ඇත.
කෙසේ වෙතත් සොයිබ් මලික් නැවත වරක් පාකිස්තානු කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින් එය අසාර් අලීගේ පීඩනය යම් දුරකට අඩු කිරීමට හේතුවක් වනු ඇත. සොයිබ් මලික්ට අවස්ථාවක් හිමිවුවහොත් ඔහුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියත වශයෙන්ම පීඩනයක් එල්ලවනු ඇත. තරගයක් තනිවම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ හැකියාව මලික් සතුය. තවද පාකිස්තානු එක්දින කණ්ඩායම අවසන් වරට තරග කළ සිම්බාබ්වේ තරග සංචාරයේදී නැවතත් ලකුණු අතරට පැමිණීමට සොයිබ් මලික්ට හැකිවිය. එමෙන්ම සොයිබ් එක්දින තරගාවලියට එක්වන්නේ බ.ඉ. කොදෙව් දූපත්හි පැවැති සී.පී.එල් පන්දුවාර විස්සයි20 තරගාවලියේ තරග කිහිපයකටද සහභාගීවීමෙන් අනතුරුවය.
එහෙයින් එක්දින තරගාවලිය සඳහා හොඳ පෙර සූදානමක් ලබාගැනීමේ අවස්ථාව ඔහුට හිමිවිය.ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කළ පාකිස්තානු පන්දු යවන්නා වූයේ යශීර් ෂාය. ඔහු තරගාවලියේ වීරයා සම්මානද හිමිකර ගත්තේය. එහෙයින් එක්දින තරගාවලියේදීද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කරනු ඇත. ඔහුට සාර්ථකවීමට අවස්ථාවක් හිමි වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි. එබැවින් යසීර් පාලනය කරගැනීමට වමත් පිතිකරුවන් ඉදිරියට පැමිණිය යුතුව ඇත. කෙසේ වෙතත් ගැටලුවක්ව ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට වමත් පිතිකරුවන් වැඩි වශයෙන් එක්ව සිටියද ඔවුන් සියලු දෙනාම යසීර් හමුවේ දැවී යාමය. එය පාකිස්තානු කණ්ඩායමට වාසියකි.
ඡායාරූප ශාන්ත රත්නායක
ශ්‍රී ලංකා එක්දින සංචිතය
01. තිලකරත්න ඩිල්ෂාන්, 02. ළහිරු තිරිමාන්න, 03. උපුල් තරංග, 04. දිනේෂ් චන්දිමාල්, 05. ඇජලෝ මැතිව්ස්, 06. අශාන් ප්‍රියන්ජන්, 07. තිසර පෙරේරා, 08. සීක්කුගේ ප්‍රසන්න, 09. සචිත්ර සේනානායක, 10. ලසිත් මාලිංග, 11. සුරංග ලක්මාල්, 12. කුසල් ජනිත් පෙරේරා, 13. මිලින්ද සිරිවර්ධන, 14. නුවන් ප්‍රදීප්, 15. සචිත් පතිරණ
පාකිස්තානු එක්දින සංචිතය
01. මොහොමඩ් හෆීස්, 02.බාබාර් අසාම්, 03. අසාර් අලී, 04. සොයිබ් මලික්, 05. අසාද් ශාෆීක්, 06. සෆ්රාස් අහමඩ්, 07. අන්වර් අලී, 08. යසීර් ෂා, 09. රහත් අලී, 10. මොහොමඩ් ඉර්ෆාන්, 11.මුක්ටර් අහමඩ්, 12. ඉමාඩ් වසීම්, 13. ඉෂාන් අඩිල්, 14. මොහොමඩ් රිස්වාන්, 15.අහමඩ් ශේෂාද්