පළමු එක්දින තරගය පරාජයට පත් වූ ශ්‍රී ලංකාව ජයගත යුතුම තරගය අද (09) පල්ලෙකැලේදී ආරම්භ වෙයි. පළමු එක්දින තරගයේදී සිදු වූ අතපසුවීම් නොකළහොත් මේ තරගයේදී තරගයක් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙයි.
පළමු එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් නොවීමත් සවස් කාලයේදී විදුලි ආලෝක භාවිත නොකිරීමට තීරණය කිරීමත් මතගැටුමක් නිර්මාණය වූ අවස්ථාවක් විය. එහෙත් දිවා කාලයේදී ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් නම් වාසිදායකය. හේතුව අධික උණුසුම දකුණු අප්‍රිකානුවන්ට යම් ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවිය හැකි නිසාය. එසේම දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ දෝලනයට හසුවීමද අවම විය හැකි නිසාය. එහෙත් පළමු තරගයේදී මේ වාසි සියල්ල ශ්‍රී ලංකාව නැති කරගත්තේ රැකගත යුතුව තිබූ උඩපන්දු දෙකක් අතහැරීමත් සමගය. මේ වරද නම් අද තරගයේදී නිවැරදි කරගත යුතුම වන්නේ මේ තරගය පරාජයට පත්වුවහොත් තරගාවලිය පරාජයට පත්වන නිසාය.
දිවා රාත්‍රී තරගයක් වන මේ තරගය දකුණු අප්‍රිකානුවන් ප්‍රියකරන ක්‍රීඩාංගණයක පැවැත්වීම ශ්‍රී ලංකාව පැත්තෙන් පාඩුවකි. එහෙත් අවසන් වතාවට මේ පිටියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුණු තරගය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මේ නිසා දෙපාර්ශ්වයටම මේ පිටියේ යමක් තිබේ. තණතිල්ල වියළි නම් ශ්‍රී ලංකාවට වාසිය වැඩිය.
කෙසේ වුවද අද තරගයේදී මහේල, ළහිරු සහ ප්‍රියන්ජන්ගේ ස්ථානවලින් එකක් ගිලිහෙන්නට ඇති ඉඩ වැඩිය. මහේලගේ ස්ථානය ගිලිහීමක් සිදුනොවූවද ළහිරු සහ ප්‍රියන්ජන් යන දෙදෙනාගෙන් එක් අයෙකු ක්‍රීඩා කර තිසර කණ්ඩායමට ඒමට ඇති ඉඩ වැඩිය. මෙහිදී ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ඉම්රාන් තාහීර්ට කඬුලු නොදීමටය. ඔහු හොඳ දඟපන්දු යවන්නෙකු ලෙස සලකා ඔහුට පහරදීම වඩාත් වැදගත් කටයුත්තයි. එසේ නොවී ඔහුගේ තත්ත්වය පහත හෙළන්නට සිතා පහරදෙන්නට යාම අවදානම් කටයුතු වෙයි. මෙයින් සිදුවන්නේ වේගපන්දු යවන්නන්ට තරගයට පැමිණීමට ඉඩ තිබීමයි.
පසුගිය තරගයේදී මැතිව්ස් අතින් යම් අඩුපාඩු සිදුවුවද ඒ සියල්ල නිවැරදි කරගත හැකි ඒවාය. එසේම එම වැරදි හදාගන්නා හැටිද ඔහු දනී. මේ නිසා මෙම තරගයේදී ඔහුගේ අඩුපාඩු සිදුවෙතැයි විශ්වාස කළ නොහැක.
පල්ලෙකැලේ පිටියේ හැමදාමත් වැඩි ලකුණු රැස්කරන තිලකරත්න ඩිල්ෂාන් අද දිනයේදීද ක්‍රියාත්මක වුවහොත් සංගක්කාරගේ හිස මත ඇති බර බොහෝ සෙයින් අඩුවනු ඇත. එවිට වැඩි ලකුණු ප්‍රමාණයකට යෑමට කණ්ඩායමට අවස්ථාව හිමිවනු ඇත.
ක්‍රීඩා කළ හැකි කණ්ඩායම
ශ්‍රී ලංකාව
1. තිලකරත්න ඩිල්ෂාන් 2. කුසල් පෙරේරා 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5.ඇන්ජලෝ මැතිව්ස් 6/7. ළහිරු තිරිමාන්න, අශාන් ප්‍රියන්ජන්, තිසර පෙරේරා 8. නුවන් කුලසේකර 9. සචිත්ර සේනානායක 10. අජන්ත මෙන්ඩිස් 11. ලසිත් මාලිංග
දකුණු අප්‍රිකාව
1. ඩි කොක් 2. හෂීම් අම්ලා 3. ජැක් කාලිස් 4. ඒ.බී ඩිවිලියර්ස් 5. ජේ.පී. දුමිනි 6. ඩේවිඩ් මිලර් 7. රයන් මැක්ලරන් 8. වර්නන් ෆිලැන්ඩර් 9. ඩේල් ස්ටේන්
10. මෝනෙ මෝකල් 11. ඉම්රාන් තාහීර්
ඡායාරූප ශාන්ත රත්නායක