ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ජනවාරි 27 වැනිදා ආරම්භ වීමට නියමිත ක්රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය තවමත් අවසන් තීරණයක් ලබාදී නොමැත. මෙම තරගාවලිය සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නියෝජිතයන් හා බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයන් අතර ඊයේ (09දා) ඩුබායිහි පැවැති සාකච්ඡාවද විසඳුමකින් තොරව නිම වී ඇති බව වාර්තා වේ.
තරගාවලියට සම්බන්ධ වීම පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ බංග්ලාදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තහවුරුවක් ලැබීමෙන් පසුව බව ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය මෙම රැස්වීමේදී බංග්ලාදේශයට දැනුම් දී තිබේ. ඒ සඳහා සලකා බැලීමට ශ්රී ලංකා ආරක්ෂක නිලධාරින් පිරිසක් 13 වැනිදා බංග්ලාදේශයට පිටත්වීමට නියමිතය.
එහිදී ඔවුන් ක්රීඩා පිටිවල ආරක්ෂක තත්ත්වය, ක්රීඩකයන් නවාතැන් ගන්නා හෝටල්වල ආරක්ෂක තත්ත්වය, හෝටල්වල පිහිටීමේ ස්වභාවය මෙන්ම ක්රීඩකයන් ගමන්ගන්නා මාර්ගවල මෙන්ම එම මාර්ග අවට ඇති අතුරු මාර්ගවලද ආරක්ෂක තත්ත්වය සොයාබැලීමෙන් පසුව විධායක කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම වාර්තාවෙන් පසුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිතය.