සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය අද (15දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පස්වරු 2.30 ට ආරම්භවීමට නියමිතය. දඹුල්ලේ පැවැති තරගය ජයග්‍රහණය කිරීමත් සමග පාකිස්තානය මෙම තරගයට පිවිෙසන්නේ අඩියක් ඉදිරියෙන් සිටිමිනි.
ඒ අනුව තරගාවලිය සම කරගැනීම සඳහා මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතු වෙයි. යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් එය තරගාවලියේ ඉදිරි තරගවලදී අවාසිදායක වනු ඇත. පල්ලෙකැලේ පිටියේද ශ්‍රී ලංකාවට වාසනාව පවතින්නේ 50/50 මට්ටමක හෙයින් අද තරගය කණ්ඩායම් දෙකටම විවෘත තරගයකි. මෙම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 14කට මුහුණදී එයින් තරග හතක් ජයගෙන තිබේ. පාකිස්තානය සමග පැවැති තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන තිබෙන අතර අනෙක් තරගය පරාජය වී තිබේ.
2012 වසරේ ජුනි මාසයෙන් පසුව පාකිස්තානය හා ශ්‍රී ලංකාව වසර තුනකට පසුව පල්ලෙකැලේ පිටියේදී අද එක්දින තරගයකට මුහුණ දෙයි. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පැවැති අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 76ක ජයක් හිමිව තිබේ. මේ පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේදීද එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 90ක පහසු ජයක් ලබාගෙන තිබේ. ඒ අනුව සැලකීමේදී ශ්‍රී ලංකාවට මෙම තරගයට මානසිකව අඩියක් ඉදිරියෙන් සිට සහභාගීවිය හැකිය.
තිලකරත්න ඩිල්ෂාන් පල්ලෙකැලේ පිටියේදී ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයායි. එම පිටියේ වැඩිම ලකුණු රැස්කර ඇති පිතිකරුවා වන ඩිල්ෂාන් (තරග 10කදී ලකුණු 871) කඩුලු ලබාගැනීමෙන්ද (තරග 13 කඩුලු 12) දෙවැනි වන්නේ ලසිත් මාලිංගට (තරග 10 කඩුලු 19) පමණි. මෙම තත්ත්වය සැලකීමේදී පිටියේ වාසිය ඩිල්ෂාන්ට තිබේ. ඒ අනුව අද තරගයේදී ඔහු ලකුණු අතරට පිවිසීම වැදගත්වෙයි. ඒ ඔහුගේ සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය හරහායි.
පළමු තරගයේදී ඩිල්ෂාන් හා කුසල් තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙන ආකාරයක් දැකිය හැකිවිය. එය ආරක්ෂාකාරී පියවරක් වුවත් කණ්ඩායමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය නොලැබීමෙන් අවසානයේදී එහි අවාසිය හිමිවන්නේද කණ්ඩායමටය. මන්දයත් නව ක්‍රිකට් නීති අනුව අවසන් පන්දුවාර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කිරීම සීමාවී ඇති හෙයිනි. එහෙයින් ආරම්භක පිතිකරුවන්ගෙන් එක් අයෙකුගෙන් වේගවත් ආරම්භයක් අවශ්‍යව තිබේ. එය පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසෙන ක්‍රීඩකයාට නිදහසේ පන්දුවට පහරදීමට අවස්ථාව උදාකරනු ඇත.
සංගක්කාරගේ ස්ථානය දඹුල්ලේදී හිමිවූයේ ළහිරු තිරිමාන්නටය. පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසු ඔහු පිටියට පැමිණි විට ලකුණු රැස්කරගැනීම උත්සාහ කිරීම හේතුවෙන් ඔහුගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමිවිය. උපුල් තරංගද ක්‍රමයෙන් සිය ඉනිම ගොඩනංවන හෙයින් ඔහුටද පිටියේ ස්ථාවරවීමට යම්කිසි වේලාවක් ගතවෙයි. එහෙයින් ආරම්භක පිතිකරණ සබඳතාව අඩු පන්දු ප්‍රමාණයකදී වැඩි ලකුණු ප්‍රමාණයක් සිදුකර තිබේනම් එය ඉන්පසුව පිටියට පැමිණෙන ක්‍රීඩකයන්ට පහසුවිය හැකිය. අප කියන්නේ අවම වශයෙන් පළමු පන්දුවාර 10දී ලකුණු 75-80ක සීමාවකට පැමිණිය යුතුය කියාය.
කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් පළමු තරගයේදී සාර්ථක විය. ඒ අනුව ඔහුගේ රිද්මය ඉදිරියට පවත්වාගෙන යාමට හැකිනම් අවසන් පන්දුවාර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ හැකි පිතිකරවෙක් බවට චන්දිමාල් පත්කර ගත හැකිය. නමුත් ඔහුටද ඉනිමේ ඉහළින් පැමිණ යමක් කළ හැකි ක්‍රීඩකයෙකි.
තිසර පෙරේරා තවමත් රිද්මයට පැමිණ ඇති බවක් නොපෙනේ. තිසර පාකිස්තානය හමුවේ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකු වන හෙයිනුත් පල්ලෙකැලෙ පිටියේදී දක්ෂතා දක්වන නිසාත් මෙම තරගයේදී රිද්මයට පැමිණීමට තිසරට හැකියාවක් පවතී. තිසර රිද්මයට පැමිණයහොත් එය කණ්ඩායමේ ජයග්‍රහණයට සුබදායක තත්ත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිස්ව්ගේ පන්දු යවනන්නගේ සංකලනය පිළිබඳව පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකි. දිගින් දිගටම පාකිස්තාන පිතිකරුවන් ලකුණු රැස්කළ සීක්කුගේ ප්‍රසන්නට පන්දු යැවීමට අවස්ථාව දීම එයට හෙඳම උදාහරණයකි. එම තරගයේදී පන්දුවාර 9ක් යොමුකළ එකම ශ්‍රී ලංකා පන්දුයවන්නා වූයේ සීක්කුය.
නිත්‍ය වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් යොමු කර තිබුණේ පන්දුවාර පහක් පමණි. ක්‍රිකට් නීති වෙනස්වී ඇති බැවින් වර්තමානයේදී අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු රැස්කිරීමට ඇති හැකියාව අවම වී තිබේ. ඒ පන්දුවාර 41 සිට 50 දක්වා හතරේ සීමාව ආසන්නයේ පන්දු රකින්නන් පස්දෙනෙකු යෙදවීමට හැකියාව ලැබේ. මීට පෙර යෙදීමට හැකිවූයේ පන්දු රකින්නන් සිවු දෙනෙකු පමණකි. මේ පිළිබඳවද ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමුකළ යුතුවෙයි.
පළමු තරගයේදී එක්දින වරම් හිමිකර ගත් මිලින්ද සිරිවර්ධන දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත්වන ලකුණු පෙන්නුම් කළේය. ඒ අනුව මෙම තරගයේදීද ඔහුට කණ්ඩායමේ ස්ථානය හිමිවෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. කණ්ඩායමේ ස්ථානය අහිමිවෙනවා නම් ඒ සීක්කුගේ ප්‍රසන්න විය හැකිය. ඔහුගේ ස්ථානය සචිත්ර සේනානායකට හෝ නවක ක්‍රීඩක සචිත් පතිරණට හිමිවීමට ඉඩක් තිබේ.
පාකිස්තානු කණ්ඩායමේ මොහොමඩ් හෆීස් එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින්ම තරග කරන ක්‍රීඩකයායි. එහෙයින් මෙම තරගයේදී ඔහුව පාලනය කිරීමට සැලැස්මක් අවශ්‍යව තිබේ. තරගයේදී පාකිස්තානු කණ්ඩායමේ වෙනසක් ඇතිවේයැයි විශ්වාස කළ නොහැකි අතර, පළමු තරගයට ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායමම මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉඩක් පවතියි.
තරගයේදී කාසිය වාසිය දිනාගන්නා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ හැකියාවක් තිබෙයි. පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට ලකුණු 275 - 285ක සීමාවකට පැමිණිය හැකිනම් එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වෙයි.
ඡායාරූප ශාන්ත රත්නායක