වත්මන් ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩකයා යන කීර්තිය තවදුරටත් සනිටුහන් කරගැනීමට සර්බියාවේ නොවැක් ජෙකොවිච් සමත් විය. ඒ ඊයේ (12දා) අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල අංශයේ ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් තමන් සතු කර ගනිමිනි. ජෙකොවිච් අතින් අවසන් තරගයේදී තරග වට 3-1 ක් ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පරාජයට පත් විය.
ටෙනිස් පිටියේ වත්මන් පතාක යෝධයන් දෙදෙනෙකු ලෙසින් හැඳින්වෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් හා නොවැක් ජෙකොවිච් අතර පැවැති මෙම තරගයේ ප්‍රතිඵලය තරගය පැවැත්වනතුරුම නිර්ණය කිරීමට කිසිවෙකුට නොහැකි වූයේ දෙදෙනාම ටෙනිස් පිටියේ එක හා සමාන දක්ෂතා දක්වා ඇති බැවිණි. වත්මන් ටෙනිස් පිරිමි ඒකළ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ජෙකොවිච් හා වත්මන් විම්බල්ඩන් ශූරතා වැඩිම වාර ගණනකට (07) හිමිකම් කියන (1965 වර්ෂයෙන් පසුව) ෆෙඩරර් අතර තරගය ආරම්භයේදීම දැඩි සටනක මුහුණුවරක් ගත් අතර පළමු වටයේ 7-6 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලැබීමට සමත් වූයේ රොජර් ෆෙඩරර්ය.
කෙසේ වෙතත් පළමු වටයේ තමා මුහුණ දුන් තත්ත්වය ඒ ආකාරයෙන්ම ෆෙඩරර්ට උරුම කරදීමට දෙවැනි වටයේ ජෙකොවිච් සමත් වූයේ තරග වට 7-6 ක් ලෙස එම වටයේ ජය තමන් සතු කරගනිමිනි.
එම ජයග්‍රහණයත් සමගින් නව පණක් ලැබූ ජෙකොවිච් තරගයේ තෙවැනි හා සිවුවැනි වටයන්හි ජයත් අඛණ්ඩව (6-4, 6-3) හිමි කරගැනීමට සමත් වූයේ පසුගිය වර්ෂයේ මෙන්ම තරගාවලියේ අනුශූරතාව ෆෙඩරර්ට හිමි කරදෙමිනි. පසුගිය වර්ෂයේ පැවැති අවසන් තරගයේදීද ෆෙඩරර් නඩාල් අතින් තරග වට 3-2 ක් ලෙසින් පරාජයට පත්විය.
ලොව පැරණිතම ටෙනිස් තරගාවලිය ලෙසින් සැලකෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ ශූරතාව ජෙකොවිච් විසින් හිමි කරගත් තෙවැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගත විය.
තරගාවලියේ අවසන් පූර්ව වටවලදී ජෙකොවිච් අතින් ප්‍රංශයේ රිචඩ් ගැස්කට්ද, ෆෙඩරර් අතින් බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේද පරාජයට පත්වූහ.
තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව පසුගියදා (11දා) ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් විසින් දිනා ගන්නා ලදී. තරගාවලිය පසුගිය ජුනි 29 වැනිදා ආරම්භ වූ අතර, ඉසව් 12 ක් යටතේ පැවැති මෙහි සියලුම තරග එංගලන්තයේ ලන්ඩන්හි පිහිටි විම්බල්ඩන් ටෙනිස් ක්රීඩාගාරයේදී පැවැත්විණි.