හෙල්ල, කවපෙත්ත හා යගුලිය විසි කිරීම යනාදී ක්‍රීඩාවලට සහජ හැකියාවක් දැක්වූ ඔහු වසර කිහිපයක් අඛණ්ඩව වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ශූරයා විය. එමෙන්ම ඔහු මේ වනවිට වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කරයි. කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් තබන ඔහු නමින් අමිල විජේකෝන්ය. වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු වන අමිලගේ ක්‍රීඩා ජීවිතය හා එහි අනාගතය පිළිබඳව විමසීමට තරුවක වගතුග සොයා යන ක්‍රීඩා චාරිකාවට එක්කර ගත්තෙමු.
Q ඔබ හෙල්ල විසිකිරීමේ ශූරයෙක්. මොකක්ද ඔබේ අභියෝගය?
මගේ පළමු ඉලක්කය ශ්‍රී ලංකා වාර්තාවකට යාමටයි. එහිදී කුමක් හෝ ශ්‍රී ලංකාවේ ජාතික තලයේ ක්‍රීඩා උලෙළක පදක්කමකට යාමටත් අපේක්ෂා කරනවා. මේ වනවිට මම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ජාතික තලයේ පළමු ක්‍රීඩකයන් දසදෙනා අතර ඉන්නවා.
Q ඔබ කුරුණෑගල මලියදේව විදුහලට කීර්තියක් ගෙනා ක්‍රීඩකයෙක් කොහොමද ඔබේ ක්‍රීඩාවට ආගමනය සිදුවන්නේ?
කුරුණෑගල මලියදේව විදුහලේ අධ්‍යාපනය ලබන කාලේදී එල්ල විසි කිරීම, යගුලිය දැමීම හා කවපෙත්ත විසිකිරීම කියන ඉසව්වලින් දක්ෂතා දැක්වූවා. පාසල් මට්ටමෙන් ඔබ්බට ගියාම මෙම ඉසව් තුනම කිරීමට අපහසු වුණා. ඒ නිසා මම හෙල්ල විසි කිරීම ඉසව්ව තෝරා ගත්තා. පාසල් කාලයේදී ජාතික පාසල් ක්‍රීඩා උලෙළේ අවුරුදු 21 න් පහළ හෙල්ල විසි කිරීමේ තරගාවලියේදී තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වුණා. ඉන්පසුව අඛණ්ඩව හෙල්ල විසිකිරීමෙන් මට දක්ෂතා අතරට එන්න පුළුවන් වුණා.
Q පාසල් කාලයෙන් පසුව ඔබ බැංකු නිලධාරියෙකු ලෙසත් ක්‍රීඩාව අඛණ්ඩව කරනවා?
ඔව්. මම අවුරුදු 19 දී සම්පත් බැංකුව හා එක්වෙනවා. අනතුරුව ජාතික මහා ක්‍රීඩා උලෙළෙ පරිසාධන මට්ටමට පැමිණිය හැකි දේශීය තරගාවලි කිහිපයකදීම මම දක්ෂතා දක්වනවා. හෙල්ල විසිකිරීමෙන් විශේෂයෙන් යොවුන් ක්‍රීඩා උලෙළේදී.
Q ඔබ සම්පත් බැංකුව නියෝජනය කරමින් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියටත් එක්වෙනවා?
සම්පත් බැංකුව නියෝජනය කරමින් මම පළමුවරට වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියකට එක්වන්නේ 2009 වසරේදී
Q ලංකාවේ හෙල්ල විසිකිරීම සඳහා ඉන්න හොඳම පුහුණුකරු යටතේ ඔබ පුහුණුවෙනවා?
ඔව්. අදටත් මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සර්. ඔහු මට පුහුණුකරන්න පටන් ගත්තේ 2009 වසරේ ඉඳලයි. ප්‍රදීප් නිශාන්ත සර් යටතේ තමයි සුමේධ රණසිංහ හා වරුණ ලක්ෂාන් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවන්නෙත්. මගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සුවිශාල දියුණුවක් මං ලබාගන්නේ ප්‍රදීප් නිශාන්ත සර් යටතේ.
Q පසුගිය වසරේ පැවැති වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදීත් ඔබ විශේෂ දක්ෂතා දැක්වූවා?
2009 වසරේ මම පළමුව සහභාගිවූ වෙළෙඳ සේවා තරගාවලියේදී ආධුනික අංශයෙන් හෙල්ල විසිකිරීමට තරග වැදුණේ. එතැනදී මම රන් පදක්කම දිනාගත්තා. 2011 දී විවෘත අංශයෙන් මට හිමිවුණේ ලෝකඩ පදක්කම. 2012දී විවෘත අංශයෙන් රිදී පදක්කම දිනාගත්තා. 2013 වසරේ සිට මේ දක්වාම හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම අඛණ්ඩව ජයගැනීමට හැකිවුණා. එය මට බැංකුවෙන් ලබාගන්නා ජයග්‍රහණ සඳහාත් ඉවහල් වුණා. ඒ වගේම 2013 හා 2014 වසරවලදී මෙම තරගාවලියට ඉදිරිපත්වූ සම්පත් බැංකු මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වශයෙනුත් මම කටයුතු කළා.
Q මේ වනවිට වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික ධුරයත් දරනවා?
ඔව්. මම බැංකුවෙන් ලැබෙන සහයෝගයත් සමග මගේ ක්‍රීඩාවත් කරගෙන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරනවා. අපි මේ වනවිට වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය හැටියට රටේ ක්‍රීඩාව ඉහළ තැනකට ගේන්න සුවිශාල වැඩකොටසක් කර තිබෙනවා.
Q ඔබ හෙල්ල විසිකිරීමෙන් ලැබූ විදෙස් තරගාවලි ජයග්‍රහණ පිළිබඳව පැවසූවොත්?
2015 වසරේදී මම කොළඹ දිස්ත්‍රික්ක මලල ක්‍රීඩා සංගමය සමග ඉන්දියාවේ මයිසූර් මලල ක්‍රීඩා උලෙළට සහභාගි වුණා. වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය මගින්. එහිදී මම හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනාගත්තා. එය මගේ පළමු විදෙස් තරගාවලි රන් පදක්කම. අනතුරුව 2016 දී මම ඉන්දියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළටත් සහභාගි වුණා. එහිදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් රන් පදක්කම දිනාගත්තා. ඊට ශ්‍රී ලංකාවෙන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් වුණා.
Q ඔබේ ක්‍රීඩා දිවියට බැංකුවෙන් ලැබෙන සහාය කොහොමද?
ඉතා ඉහළ සහායක් ලැබෙනවා. මම සම්පත් බැංකුවේ ආනයන අපනයන අංශයේ නිලධාරියෙක් විදිහට සේවය කරනවා. දැනට වසර 11 ක් මම බැංකුවේ සේවය කරනවා. විශේෂයෙන් මගේ අංශය වන ආනයන අපනයන අංශයේ ප්‍රධානියා වන මනෝජි හෙට්ටිගොඩ මහත්මියගෙන් හා බැංකු කාර්ය මණ්ඩලයෙන් ක්‍රීඩාවට සුවිශාල සහායක් ලැබෙනවා.
Q ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ රටට හා බැංකුවට දිනාදීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම තව වසර 04 කින් මම ක්‍රීඩා කරන්න වෙන්නේ ප්රවීණයන්ගේ කාණ්ඩයෙන්. එහිදී ලංකාවට රන්පදක්කම් රැගෙන ඒමට අපේක්ෂා කරනවා.
Q ඔබට අතහිත දීපු අය මතක් කළොත්?
පළමුව මගේ අප්පච්චිව මතක් කරන්න ඕන. ඔහුගේ නම ඩබ්. තිලකරත්න. මොකද අප්පච්චි තමයි මට ඉස්සෙල්ලාම හෙල්ල විසි කරන්න ඉගැන්නුවේ. පොඩි හෙල්ලයක් ගෙනත් දීලා පොල්ගස් අස්සේ විසිකර කර මට මේ ක්‍රීඩාව උගන්වද්දී මම දැනන් හිටියේ නැහැ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලාවත්.
අප්පච්චි අම්මයි තමයි මට ක්‍රීඩාව උගන්වනු පළමු ගුරුවරුන්. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා. ඉන් ප්‍රධාන වශයෙන් මතක් කළ යුතුයි මලියදේව විද්‍යාලයේත් මාව ක්‍රීඩාවට තෝරාගත් මලල ක්‍රීඩා පුහුණුකරුව සිටි එස්.ආර්. ජයසිංහ සර්ව, ඒවගේම විදුහලෙ විදුහල්පති ඇතුළු ගුරු මණ්ලඩය, සම්පත් බැංකුව හා එහි කාර්ය මණ්ඩලය, සම්පත් බැංකුව නැත්නම් මගේ ක්‍රීඩා ජීවිතය පාසලෙන් නිමවීමට ඉඩ තිබුණා. ඒ නිසා එහි සම්පූර්ණ ගෞරවය බැංකුවට හිමිවිය යුතුයි. ඒ වගේම ප්‍රදීප් නිශාන්ත සර්වත් මතක් කළ යුතුයි. ඊට පස්සේ සම්පත් බැංකු ක්‍රීඩා සමාජයට හා මගේ අභ්‍යාසක හැටියට කටයුතු කරන නිර්මාල්වත් සිහිපත් කළ යුතුයි. අවසන් වශයෙන් මා සේවය කරන ආයතන අපනයනය අංශයේ ප්‍රධානියා හා කාර්ය මණ්ඩලයක් ගෞරවයෙන් මතක් කරනවා.