සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (03දා) ඇරඹේ. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සිවුවැනි දිනයේදී (28දා) අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 304ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගන්නට හා ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේ අනාවැකිය සාර්ථක කරන්නට ඉන්දීය කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග්‍රහණයක් පමණි. එහෙත් තරගාවලියේ තවදුරටත් රැඳී සිටින්නටත්, ගිලිහී යමින් තිබෙන කීර්තිනාමය රැකගන්නටත් ශ්‍රී ලංකා කණ්ඩායමට අදින් ඇරඹෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගන්නට හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කරගන්නට සිදුවේ.
පළමු තරගයේ දුර්වල පන්දු රැකීමත්, දුර්වල පන්දු යැවීමත් මෙන්ම දුර්වල පිතිකරණයත් පරාජයට ප්රබලව බලපෑවේය. එපමණක් නොව අවාසනාවද පරාජයට යම් බලපෑමක් එල්ල කළ බවද සඳහන් කළ යුතුය.
පළමු තරගයේ පළමු ඉනිමේ පළමු දිනයේදී ශිකර් දවාන්ගේ උඩ පන්දුව ගිලිහී යෑම සහ එය රැකගන්නට උත්සාහ කළ අසේල ගුණරත්න ආබාධයට ලක්වීමද තරගය පරාජය වීමට ප්‍රබල බලපෑමක් එල්ල කළේය. තවද පළමු ඉනිමේ උපුල් තරංග අවාසනාවන්ත ලෙස දැවීයාමද ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් සිදුකළේය.
විශේෂයෙන් පිතිකරුවන් දස දෙනෙකුගෙන් ක්‍රීඩා කරන අවස්ථාවක ලකුණු 64ක් රැස්කරගෙන සිටි තරංග පළමු ඉනිමේදී අවාසනාවන්ත ලෙස දැවීයාම පාඩුවකි. කෙසේ වෙතත් ඔහු දවාගැනීමට ඉන්දීය ක්‍රීඩක අභිනව් මුකුන්දීගේ විශිෂ්ට පන්දු රැකීමද හේතුවක් විය. තරගයක් වෙනස් කිරීමට එවැනි පන්දු රැකීමක් බෙහෙවින් උපකාරී වන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද පළමු තරගයේ සිදුවූ අඩුපාඩු මකාගනිමින් අදින් ඇරඹෙන දෙවැනි තරගයට අවතීර්ණ විය යුතුය.
අසනීපයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයේ සිට නැවතත් කණ්ඩායම සමගින් එක්වන බැවින්, එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට හේතුවකි. එහෙත් මෑත කාලයේදී
ශ්‍රී ලංකාව සොයාගත් විශ්වාසය තැබිය හැකි, තරගයක් ජයග්‍රහණය කරවිය හැකි පසුපෙළ පිතිකරුවෙකු වූ අසේල ගුණරත්න නොමැතිවීම පාඩුවකි.
අසේල නොමැති බැවින් ඔහුගේ ස්ථානය සඳහා ධනංජය ද සිල්වා කැඳවීමට වැඩි අවස්ථාවක් පවතී. තවද ළහිරු තිරිමාන්නද වසරකට පමණ පසුව කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින්, ඔහු කෙරෙහිද අවධානය යොමුවිය හැක. තිරිමාන්න කෙරෙහි අවධානය යොමු වුවද, ඔහුට ප්‍රථමයෙන් ධනංජයට අවස්ථාවක් හිමිවිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.
පළමු තරගයේදී අවස්ථාවක් හිමි නොවූ මලින්දට දෙවැනි තරගයේදී අවස්ථාවක් හිමිවන්නේ දැයි සියලු දෙනාම බලා සිටිති. මන්ද ඔහු සැබෑ ලෙසම අවස්ථාවක් හිමිවිය යුතු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බැවිනි. නමුත් ගැටලුවකට ඇත්තේ ඔහුද රංගන හේරත් මෙන් වමත් දඟ පන්දු යවන්නෙකු වීමය.
එබැවින් කණ්ඩායමට අවශ්‍ය සමබරතාව රැකගන්නට ඔහුට අවස්ථාවක් ලබාදීම මේ අවස්ථාවේ දුෂ්කරය. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ආරම්භක පන්දු යවන්නෙකු ලෙස යොදා ගනිමින් ළහිරු කුමාර වෙනුවට මලින්ද කණ්ඩායමට කැඳවිය හැකිය.
එය තීරණය වන්නේ මැතිව්ස් පන්දු යවන්නේද නැද්ද යන්න මතයි. මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බැවින් සහ ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටින්නේ නම් ආරම්භක පන්දු යවන්නෙකු ලෙස යොදාගැනීමේ ගැටලුවක් නොමැත.
පළමු තරගය ජයගත් ඉන්දීය කණ්ඩායමේ වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අඩුය. වෙනසක් වන්නේ නම් ඒ පළමු තරගයේදී කඩුලු රකින්නා ලෙස කටුයුතු කළ රිදීමාන් සහා වෙනුවට අසනීප තත්ත්වයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ ලෝකේෂ් රාහුල් කණ්ඩායමට කැඳවිය හැකිය. එසේ නොවන්නට ඉන්දීය කණ්ඩායමේ ලොකු වෙනසක් අපේක්ෂා කළ නොහැකිය.