සමස්ත ශූරතාව බස්නාහිර පළාත දිනාගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සවිධානය කරනු ලැබූ 41 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී අද (20දා) නිමාවට පත්විය.
බස්නාහිර පළාත සමස්ත ශූරතාව ලබාගනිමින්
1988 වසරේ මේ දක්වා බස්නාහිර පළාත අඛණ්ඩව මෙහි සමස්ත ශූරතාව දිනාගැනීමට සමත්ව සිටියි. බස්නාහිර පළාත රන් පදක්කම් 77 ක් දිනාගත් අතර, එය පසුගිය වසරේ ඔවුන් දිනූ රන් පදක්කම් (75) ප්‍රමාණය අබිබවා යාමකි.
සමස්ත අනුශූරතාව මධ්‍යම පළාත දිනාගත්තේය. ඉකුත් වසරට සාපේක්ෂව මධ්‍යම පළාතේ රන් පදක්කම්හි ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබුණි. මෙවර මධ්‍යම පළාත රන් පදක්කම් 47 ක් දිනාගත් අතර, පසුගිය වසරේ ඔවුන් දිනාගත්තේ රන් පදක්කම් 37 ක් පමණි.
තෙවැනි ස්ථානය වයඹ පළාත (26) විසින් දිනාගත් අතර, සෙසු ස්ථාන පිළිවෙළින් දකුණ (4), උතුරු මැද (5), සබරගමුව (6), ඌව (7), නැගෙනහිර (08) හා උතුරු (9) පළාත් විසින් දිනාගනු ලැබීය. මෙය ඉකුත් වසරේ පැවරති ප්‍රතිඵල සටහනේ අනුපිළිවෙළම වේ.
කෙසේ නමුත් එවර (2014) උතුරු පළාතට කිසිදු රන් පදක්කමක් දිනාගැනීමට නොහැකිවූ අතර, මෙවර ජෙගනේෂ්වරන් ඇනීටා රිටි පැනීම කාන්තා ඉසව්ව (මී. 3.25) නියෝජනය කර රන් පදක්කමක් උතුරු පළාතට දිනාදුන්නාය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර 6.43 ක දක්ෂතාවක් දක්වමින් දුර පැනීම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ බස්නාහිර පළාත නියෝජනය කළ එන්.ඩී. චමිලා ප්‍රියදර්ශනී සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීම ඉසව්ව නියෝජනය කරමින් මීටර 2.12 ක දක්ෂතාවක් දැක්වූ දකුණු පළාතේ මංජුල කුමාර සම්මාන දිනාගත්තේය. මංජුල මෙම සම්මානයෙන් පිදුම් ලැබූ 06 වැනි අවස්ථාව මෙය වේ.
මංජුල කුමාර
චමිලා ප්‍රියදර්ශනී
මෙවර ක්‍රීඩා උලෙළේ නව ශ්‍රී ලංකා වාර්තා 02 ක් හා තරග වාර්තා 10 ක් බිහිවිය. මෙය ඉකුත් වසරට වඩා තරග වාර්තාවන්හි වැඩිවීමකි. පසුගිය වසරේ කිසිදු තරග වාර්තාවක් බිහිනොවූ අතර, එවර සියලු ගෞරව ශ්‍රී ලංකා වාර්තාවකට පමණක් සීමාවිය.
බිහිවූ නව ශ්‍රී ලංකා වාර්තා (02)
01 ක්‍රීඩා උලෙළේ වාර්තා වූ පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ඌව පළාත නියෝජනය කළ අයේෂා මධුවන්ති සමත්වූවාය. මිටිය විසිකිරීම කාන්තා ඉසව්ව නියෝජනය කළ ඇය මීටර් 43.18 ක දක්ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටවූවාය. අයේෂා විසින් බිඳහෙළනු ලැබුවේ ඉකුත් වසරේ (2014) අනුරාධපුරයේ පැවැති 40 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේදී ඇය විසින්ම පිහිටුවා තිබූ මීටර් 42.74 ක වාර්තාවයි.
02 දුර පැනීම කාන්තා ඉසව්ව නියෝජනය කළ චමිලා ප්‍රියදර්ශනී මීටර 6.43 දක්ෂතාවක් දක්වමින් තරගාවලියේ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූවාය. ඇය බිඳදමනු ලැබුවේ වසර 13 පැරණි නයනකාන්ති කුමාරි චන්ද්‍රසේන, 2002 වසරේ තායිලන්තයේදී මීටර 6.40 ක දක්ෂතාවක් පිහිටුවා තිබූ වාර්තාවයි.
බිහිවූ නව තරග වාර්තා (10)
1. හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්ව මී. 58.52 කින් අවසන් කිරීමට බී.එල්. නදීකා ලක්මාලි (දකුණ) සමත්විය. මෙහි ශ්‍රී ලංකා වාර්තාවටද නදීකා (මී. 60.64) හිමිකම් කියයි.
2. හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව මී. 75.91 කින් අවසන් කර සුමේධ රණසිංහ (සබරගමුව) සමත්විය.
3. මී. 800 කාන්තා ඉසව්ව වි. 2.05.32 කින් අවසන් කිරීමට ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ) සමත්වූවාය.
4. රිටි පැනීම පිරිමි ඉසව්ව මී. 4.83 ක් අවසන් කිරීමට එම.එච්.අයි. සඳරුවන් (බස්නාහිර) සමත්විය.
5. මී. 200 පිරිමි ඉසව්ව තත්. 21.02 කින් අවසන් කිරීමට එම්. විනොද් සුරංජය (දකුණ) සමත්විය.
6. තුන් පිම්ම කාන්තා ඉසව්ව මී. 12.98 කින් අවසන් කර එච්.ඩී. විදූෂා ලක්ෂානි (බස්නාහිර) සමත්විය.
7 මීටර 100 ඉසව්ව තත්. 10.45 කින් අවසන් කිරීමට එම්. විනෝද් සුරංජය (දකුණ) සමත්විය.
8 මී. 400 කඩුලු පැනීම කාන්තා ඉසව්වේ නව තරග වාර්තාවක් දකුණු පළාතේ ඩබ්.පී.ඊ. එරංගා දුලක්ෂි පිහිටවූවාය.
9. මීටර 5000 කාන්තා ඉසව්ව නියෝජනය කළ සබරගමුව පළාතේ නිලානි රත්නායක වි. 16.50.67 ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවිය.
10. මීටර 400x4 කාන්තා ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට එම ඉසව්ව තත්. 3.43.98 කින් අවසන් කළ දකුණු පළාත සමත්විය.
ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය කිරීමේ අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සමස්ත පදක්කම් සටහන
පළාත රන් රිදී ලෝකඩ එකතුව
1. බස්නාහිර 77 66 53 196
2. මධ්‍යම 47 33 57 137
3. වයඹ 26 27 34 87
4. දකුණ 21 23 36 80
5. උතුරු මැද 16 20 37 73
6. සබරගමුව 12 24 31 67
7. ඌව 06 06 13 25
8. නැගෙනහිර 05 05 09 19
9. උතුර 01 02 06 09
ඡායාරූප ශාන්ත රත්නායක
මීටර් 400 කාන්තා සහාය දිවීම.
මීටර් 100 කාන්තා
මීටර් 100 පිරිමි