ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කර එංගලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල යළි ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. චන්දිමාල් එංගලන්ත 'ඒ' සංචාරයට යවා තිබේ. ඊයේ (22දා) සවස්වරුවේ දික්වැල්ල ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු අද දිනයේ කණ්ඩායම සමග පුහුණුවීම් සිදුකරනු ඇත. වැඩි දෙනාගේ ප්රශ්නය වන්නේ දික්වැල්ලට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ සටනක් දිය හැකිද යන්නයි. එහෙත් මේ කුඩා ක්‍රීඩකයා 1992 දී එස්.එස්.සී පිටියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ කළුවිතාරණ මෙන් වීමටද ඉඩ නැතුවා නොවේ.
ශ්‍රී ලංකාවේ හොඳම තරුණ සම්පතක් වන දික්වැල්ල කණ්ඩායමට පැමිණීම හොඳ කටයුත්තක් වුවත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම කොතරම් සාධාරණද යන්න තීරණය කළ හැක්කේ හෙට දිනයේ එස්.එස්.සී පිටියේ ක්‍රීඩා කරන කණ්ඩායමට ළහිරු තිරිමාන්න එක්වන්නේද නොවන්නේද යන කරුණ මතයි. හෙට ළහිරු ක්‍රීඩා කරයි නම් තේරීම් කමිටුව හිතාමතා චන්දිමාල් ඉවත් කළ බව පැහැදිලිය. මේ නිසා චන්දිමාල් ඉවත් කරන්නට ශක්තියක් තිබුණේ නම්, විස්සයි 20 නායකයා ලෝක කුසලානය මැදදී කැමැත්තෙන් ඉවත්වන තැනට කටයුතු කරන්නට ශක්තියක් තිබුණේ නම්, ශ්‍රී ලංකා උපනායකයාද එළියෙන් තබන්නට තේරීම් කමිටුව කටයුතු කළ යුතුව තිබේ. එසේ කියන්නේ තරුණ ක්‍රීඩකයන්ට බෙදිය යුත්තේ හැඳි දෙකකින් නොව එකම හැන්දකින් නිසාය.
චන්දිමාල් 2013 මාර්තුවේ දී ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශයට එරෙහිව ශතක දෙකක් ලැබූ අතර, තිරිමාන්න එම තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගයේ ශතකයක් ලැබීය. දෙවැනි තරගයේ පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගියේය. මේ තරගාවලියට මහේල සහ ප්‍රසන්න ජයවර්ධන ක්‍රීඩා නොකළ නිසා කිත්රුවන් විතානගේ සහ චන්දිමාල් ක්‍රීඩා කළේය. එයින් පසුව පැවැති පාකිස්තානු තරගාවලියේ දී ආබාධයට ලක්වූ ළහිරු තිරිමාන්න වෙනුවට චන්දිමාල් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළේය. එයට තවත් හේතුවක් වූයේ චන්දිමාල් උපනායකයා ලෙස නම් කිරීමයි.
මේ තරගාවලියේ දී චන්දිමාල් රැස්කළේ තරග 3 කදී ලකුණු 135 කි. එයින් පසු බංග්ලාදේශයේ පැවති තරග 2 කදී ලකුණු 167 ක් රැස් කරන්නට චන්දිමාල්ට හැකි විය. මෙයින් පසු ඔහු එක්දින සහ විස්සයි 20 තරග අසාර්ථක වීම නිසා එංගලන්තයේ දී ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය ඔහුට අහිමි විය. එසේ වූයේ වෙන කිසිවක් නිසා නොව ටෙස්ට් තරගවලදී දැඩි අසාර්ථකත්වයක් නොපෙන්වූ චන්දිමාල් ඉවත් කර තිරිමාන්න උපනායකයා බවට පත්කිරීම නිසාය. ඒ වනවිට පාකිස්තානයට එරෙහි තරගාවලියේ දී තිරිමාන්න ආබාධයට ලක්වීම නිසා කණ්ඩායමට පැමිණි කිත්රුවන් විතානගේද තමන්ගේ හැකියාව පෙන්වා තිබුණි. අවසානයේ දී එංගලන්තයේ තරග 2 කදී තිරිමාන්න ලැබුවේ ලකුණු 04 කි. චන්දිමාල් එක් තරගයක දී ලකුණු 52 ක් ලැබුවේය. ගාල්ලේ තරගයේ දී චන්දිමාල් ලකුණු 7 ක් ලැබූ අතර තිරිමාන්න ලකුණු 50 ක් ලැබුවේය. මේ අනුව දෙදෙනාටම සම අවස්ථාවන් ලැබී ඇති බව පැහැදිලිය. චන්දිමාල් කඩුලු රකින්නෙකු වශයෙන් අසාර්ථක නැත. අසාර්ථකත්වයක් පෙන්වූයේ නම් ඒ පිතිකරුවෙකු ලෙසය. දික්වැල්ල කණ්ඩායමට එන්නේ ලකුණු අතර සිටින කඩුලු රකින්නෙකු ලෙසය. එසේ නම් තිරිමාන්නද ලකුණු අතර නැත. ඔහු වෙනුවට කිත්රුවන් විතානගේ ක්‍රීඩා කරන්නේ දැයි අපි බලා සිටිමු.
චන්දිමාල්ට සිදුවූ අකටයුත්ත බොහෝ දෙනෙකුට නොපෙනෙන්නේ ඔහු විස්සයි 20 සහ එක්දින තරගවල අසාර්ථක වීම නිසාය. ඔහුගේ පිතිහසුරණ තාක්ෂණයේ දෝෂයක් ඇති බව ඔහුගේ පැරණි පුහුණුකරු පෙන්වා දෙයි. එහෙත් එය පිළිගන්නට කිසිවෙකුත් සූදානම් නැත. අනෙක් අතින් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික තොරතුරු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දෙන්නේ චන්දිමාල්ය යන දෝෂාරෝපණය තදින් තිබුණි. එහෙත් එය කරළියට ආවේ නැත. ඔහු ගිරයට හසුවූ පුවක් ගෙඩිය බවට පත් කළේ ක්‍රිකට් ආයතනයේ අති ප්‍රබලම නිලධාරියෙකු බව කවුරුත් දනිති. චන්දිමාල් තමන්ට දක්වන ගෞරවය හරහා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ තොරතුරු ලබාගත් බව කියන මේ පුද්ගලයා අද නිහඬය. චන්දිමාල්ට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයද අහිමිය.
එංගලන්තයේ දී යළිත් අසාර්ථක වුවහොත් නැවත කණ්ඩායමට පැමිණීමට චන්දිමාල්ට හිතන්නටවත් බැරිය. මේ ආකාරයෙන් දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන්ට විනාශ වෙන්නට දෙනවාද නැද්ද යන්න විමසිය යුතුය. චන්දිමාල්ට අසාධාරණයක් සිදු නොවූයේ නම් හෙට දිනයේ තිරිමාන්න ද ක්‍රීඩා නොකරනු ඇත. ඒ වෙනුවට කිත්රුවන් විතානගේ ක්‍රීඩා කරනු ඇත. එසේ වුවහොත් පළිගැනීම් නොමැති බවත් සියලු දෙනාටම එක හැන්දෙන් බෙදන බවත් ඒත්තු යනු ඇත. නැත්නම් මේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදාය නොකඩවා ක්‍රියාත්මක වන බවත් නිලධාරීන් සහ බලධාරීන් නිසා තරුණ ක්‍රීඩකයන් විනාශ වී යන බව යළිත් පැහැදිලි වනු ඇත.
චන්දිමාල්ට එක හැන්දකින් බෙදා, තිරිමාන්නට කණ්ඩායමේ අවස්ථාවක් දී ඔහු සාර්ථක වුවහොත් මීට මාස 15 කට පෙර ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ලෙස නම් කළ ක්‍රීඩකයාට තමන්ගේ අනාගතයත් අහිමිවනු ඇත. එසේ වූයේ ඇයිදැයි දිනේෂ් චන්දිමාල්වත් නොදැන සිටීම කනගාටුවට කරුණකි.