කුසල් පෙරේරාගේ වේගවත් ඉනිමත්, දිනේෂ් චන්දිමාල්ගේ ඉවසිලිවන්ත ඉනිමත් හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම පරදා පල්ලෙකැලේ පිටියේ ඊයේ (15දා) නිමාවූ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු දෙකක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරවාලිය තරග 1-1 ක් ලෙස සමකර ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 288ක අසීරු ඉලක්කය සඳහා සාර්ථක ආරම්භයක් ලබාදීමට තිලකරත්න ඩිල්ෂාන් හා කුසල් පෙරේරා කටයුතු කළහ. ඔවුහු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 8.2 කදී ලකුණු 92ක් රැස්කළහ. කුසල් පෙරේරා එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් පදනමක් දැමීය. ඔහු පන්දු 17කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. එය සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාව සමකිරීමක් විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක් ලකුණු 19 ක් තුළ දවාගනිමින් පාකිස්තානුවෝ නැවතත් තරගයට පිවිසියහ. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 159 ට කඩුලු පහක් ලෙස සටහන්විය. අනතුරුව පිටියට එක්වූ දිනේෂ් චන්දිමාල් නවක ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන හා සචිත් පතිරණත්, තිසර පෙරේරාත් හා එක්ව කෙටි ඉනිම් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණ පාකිස්තාන ආරම්භක සබඳතාව අවසන් කිරීමට සමත්වූයේ අහමඩ් ෂෙසාඩ් දවාගනිමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් හෆීස්ද දවාගැනීමට සචිත් සමත්විය. පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස මුලු ලකුණු සංඛ්‍යාව 96 දී බාබර් අසාම් දවා ගැනීමට සිය දෙවැනි එක්දින තරගයට ක්‍රීඩාකළ මිලින්ද සිරිවර්ධන සමත්විය.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක අසාර් අලී, සොයිබ් මලික් එක්ව පාකිස්තාන ඉනිම ගොඩනැංවූහ. ඔවුහු සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 83ක සබඳතාවක් ගොඩනැංවූහ. නමුත් මුළු සංඛ්‍යාව 179ක් වනවිට වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි සොයිබ් මලික් පිටියෙන් ඉවත්කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
ඉන් අනතුරුව තවත් කඩුලු දෙකක් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දවාගැනීමට මාලිංග හා ඩිල්ෂාන් සමත්වූහ. කෙසේ වෙතත් ප්‍රවේගකාරී ඉනිමක් ගොඩනැංවූ මොහොමඩ් රිස්වාන්, අන්වර් අලී හා එක්ව හත්වැනි කඩුල්ලට ලකුණු 66ක් එක්කළහ. ඒ අනුව පාකිස්තාන ඉනිම ලකුණු 287ක් දක්වා ඉහළ ගියේය.
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැතීම හේතුවෙන් පාකිස්තාන ඉනිමට අවම වශයෙන් ලකුණු 30ට වැඩි ගණනක් එක්විය.
පළමු තරගයට ක්‍රීඩා කළ සීක්කුගේ ප්‍රසන්න වෙනුවට සචිත් පතිරණත්, සුරංග ලක්මාල් වෙනුවට නුවන් ප්රදීප්වත් මෙම තරගයට කැඳවා තිබුණි. නුවන් ප්‍රදීප්ට කණ්ඩායමේ ස්ථානය හිමිවූයේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි. පල්ලෙකැලේ පිටියට වර්ෂාව පතිතවීම නිසා තරගයේ ආරම්භය පැය භාගයකට පමණ ප්‍රමාදවිය. තරගයේ වීරයා ලෙස කුසල් පෙරේරා සම්මාන දිනාගත්තේය.
ඡායාරූප ශාන්ත රත්නායක