ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ලිංගික හිංසා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබුණත් ක්‍රීඩිකාවන්ට කායික හිංසනයක් කළ බවට කිසිදු සාක්ෂියක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
එසේම අපරාධයක් කළ බවට තහවුරු කිරීමටද කිසිම කරුණක් වාර්තා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එසේම තවත් නිලධාරීයෙකු නොහොබිනා අයුරින් හැසිරී ඇති බවට කරුණු අනාවරණය වී තිබුණත් එයද ලිංගික හිංසාවක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම පිළිබඳව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කළ කමිටු දෙකේ වාර්තාවන්හි සඳහන් කරුණු පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් දැක්වීය.
ලිංගික අල්ලස් සිදුවීම පිළිබඳව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවකුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නීතිඥ මනෝලි ජිනදාස මහත්මියද පත්කළේය. මෙම පත්කිරීම්වලට අදාළ වාර්තාවන් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට ලැබී තිබේ.
මෙම චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් තිදෙනාම මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය නොකරන බවත්, ඔවුන්ගේ ගිවිසුම් පසුගිය අප්‍රේල් මාසයේ පටන් අලුත් කිරීමට කටයුතු නොකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මෙම වාර්තාවලින් කිසිදු පුහුණුකරුවෙකුට චෝදනා එල්ල නොවන බව පවසන ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන වරුණ වරාගොඩට හෝ උවායිස් කර්නායින්ට කිසිදු චෝදනාවක් නැතැයිද සඳහන් කරයි.
මෙම වාර්තා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන බවත් කාන්තා ක්‍රිකට්හි පවතින අඩුපාඩු පිරවීම සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.