ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආර්ථික පසුබිම උසස් තත්ත්වයකට ගෙනඒමට පුරෝගාමීව ක්‍රියාකළ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මෝහන් දල්මියා අතිදක්ෂ පරිපාලකයෙකු ලෙස සුහදව සාකච්ඡා මගින් ගැටලු විසඳූ දක්ෂ නිලධාරියෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
ක්‍රිකට් සභාපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (14දා) ඉන්දියාවේ පැවති දල්මියා මහතාගේ 77 වන ජන්මෝත්සවය වෙනුවෙන් එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සහ උපමහද්වීපයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට දල්මියා මහතාගෙන් සිදුවූ සේවය උදාර හා විශිෂ්ඨ වන්නේ යැයි ද සුමතිපාල මහතා එහි දී සඳහන් කළේය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පීතෘ ලෙස සැලකූ දල්මියා මහතා සිය 75 වන ජන්ම දිනයට දින දෙකකට පසු පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. බැංගලෝරයේ ටාජ් හෝටලයේ ක්රිස්ට්ල් ශාලාවේ පැවැති දල්මියා 77 වන ජන්ම උත්සවයට ශ්‍රී ලංකා - ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්ද ශ්‍රී ලංකා - පකිස්තාන - ඉන්දියා ක්‍රිකට් ආයතනයන් හි නියෝජිතයන් හා වත්මන් හා හිටපු ක්‍රීඩකයන් රැසක් ද සහභාගි වූහ.
මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා හා හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් ප්‍රධාන දේශන පැවැත්වූ අතර, එම අවස්ථාවට දල්මියා මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයෝද එක්ව සිටියහ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා,
‘දල්මියා මහතා ජගත් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් අමිල මෙහෙයක් සිදු කළා. සාකච්ඡා මාර්ගයෙන් කටයුතු සාර්ථක කරගැනීමට ඩල්මියා මහතා තුළ විශේෂ දක්ෂතාවක් තිබුණා. ක්‍රිකට් පරිපාලකයෙක් ලෙසට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩකයන්ගේ ආර්ථිකයත් ඉහළ මට්ටමකට ගෙන ඒමට පුරෝගාමී වූවා. 1996 ලෝක කුසලාන ක්‍රිකට් සංවිධායක කමිටුවේ (PIL Com - පිල්කොම්) ඔහු විශේෂ කාර්යභාරයක් ඉටු කළා. 1996දී ඕස්ට්‍රේලියාව සහ බටහිර කොදෙව් දූපත් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඉන්දියා - පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කරවීමේ කටයුත්තේ ප්‍රමුඛයා වුයේද දල්මියා මහතායි.
ඒකාබද්ධ කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දියාවේ මොහොමඩ් අසුරුදීන් පත් කිරීමටත්, පාකිස්තානයේ වසිම් අක්රම් ඔහු යටතේ ක්‍රීඩා කිරීමට කැමති කරවා ගැනීමටත් ඒකාබද්ධ කණ්ඩායමේ කළමනාකරු ලෙස ඉන්ටිකාබ් අලාම් (පාකිස්තානය) නම් කිරීමටත් දල්මියා මහතා ගත්තේ මිනිත්තු 05ක් වැනි සුළු කාලයකුයි. එම සාකච්ඡාවට මාත් සහභාගි වූවා. දල්මියා මහතා සාකච්ඡා මගින් සියල්ල විසඳීමට උත්පත්තියෙන්ම දක්ෂ අයෙක්. සියලුදෙනා සාකච්ඡා මගින් එක මතයකටත් ගෙන ඒමට ඔහුට තිබුණේ පුදුම හැකියාවක්.
දල්මියා මහතාගේ ඉදිරි දැක්ම හා විශිෂ්ට නායක්තවය ජගත් ක්‍රිකට් සංවර්ධනයට විශාල ලෙස බලපෑවා. 1990 දශකයේ පසුබෑමකට ලක්වීමට ගිය ජගත් ක්‍රිකට් ක්ෂේත්රය දල්මියා මහතාගේ දක්ෂතා මත නව මගක් ගත්තා. ජගත් ක්‍රිකට් ක්ෂේත්රයට දල්මියා මහතාගෙන් සිදු වූ සේවය සදා මතකයේ රැඳෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප අනුග්‍රහය- ශ්‍රී ලංකා ක්‍රිකට්