ජපානයේදී එළඹෙන ජූනි මස 07දා සිට 10දා දක්වා පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත්කර ඇතත්, පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් මීටර් 4x100 සහාය දිවීමේ බාලිකා කණ්ඩායම මෙම සංචාරයෙන් ඉවත් කර තිබේ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පසුගියදා (05දා) පැවැති බාලිකා සහාය දිවීමේ ඉසව්ව අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය), ෂර්මිලා ජෑන් සහ ෂෙලින්ඩා ජැන්සන් (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල), සාෆියා යාමික් (මහනුවර විහාරමහා දේවි බාලිකා) යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජයට පත්කරමින් (තත්. 46.23) රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
ඔවුන් වාර්තා කළ කාලය සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ෂා යන ක්‍රීඩිකාවන්ද ඇතුළත්ව සිටි මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ වසර 24කට පෙර පිහිටුවා තිබූ දකුණු ආසියානු බාලිකා කනිෂ්ඨ වාර්තාවක්ද බිඳ දැමීමක් වේ.
මෙම සහය දිවීමේ කණ්ඩායමේ වත්මන් දක්ෂතා ආසියානු මට්ටමට තරම් මෙන්ම කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් දිනාගත හැකි මට්ටමක පවතින අතර, පදක්කම් දිනාගත හැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගි කරවිය යුතුය යනුවෙන් නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දෙන ලද උපදෙස්ද මෙම තෝරා ගැනීම මගින් පැහැර හැර ඇති බවට පෙනී යයි. එනිසා නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ගැටලුවට මැදිහත්වී කඩිනම් විසඳුමක් ලබාදෙනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.
කෙසේ වෙතත් ජපානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම අරුණ දර්ශන (අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසල), පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව), පබසර නිකූ (කොළඹ නාලන්දා), රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශාන්ත බෙනඩික්), හර්ෂ කරුණාරත්න (වලල ඒ. රත්නායක), තරිඳු දසුන් (ගාල්ල මහින්ද), අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි), දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක), රුමේෂි අත්තිඩිය (නුගේගොඩ ලයිසියම්), සචිනි දිව්‍යාංජලී (වත්තල ලයිසියම්), සඳුමිණි බණ්ඩාර (ශා. ජෝශප් කෑගල්ල) හා රිද්මි නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතය. තවද මෙහි පුහුණුකරුවන් ලෙස සංජීව වීරක්කොඩි හා අසංක රාජකරුණාද, කාන්තා කන්ඩායම් භාර නිලධාරිනිය ලෙස යමුනා රත්නායකද පත්කර ඇති අතර, අවශ්‍ය වූ විටෙක පත්කිරීම සඳහා කළමනාකරුවෙකු ලෙස අයි.ඩී.ප්‍රේමසිරි මහතාගේ නමද ඇතුළත් කර තිබේ.
පරීක්ෂණය පැවැත්වෙන අනිල්ට යළිත් කළමනාකරු ධුරය
පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාරව සිටි කළමනාකරුවා වන අනිල් වීරසිංහගේ ක්‍රියා කලාපයට එරෙහිව මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් පවත්වන ලද නමුත්, ඔහුව ජපාන සංචාරය සඳහා යළිත් පත්කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කිසිවක් ගණනකට නොගන්නා පාලකයන් විසින් පියවර ගෙන තිබීම හාස්‍යයට කරුණකි.
පසුගියදා (04දා) අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ ඔවුන් මුහුණදුන් දුෂ්කරතා සහ ඊට අදාළව කළමනාකරු තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම අනිල් වීරසිංහට එල්ල වී ඇති චෝදනාය. ඒ අනුව පැවැත්වෙන පරීක්ෂණවලදී ඔහු වරදකරු වනු ඇතැයි යන්න මලල ක්‍රීඩා සංගම් බලධාරීන් තුළම සැකයක් ඇති බව අතිරේක කළමනාකරුවෙකු ලෙස ප්‍රේමසිරි මහතා නම්කර තිබීමෙන්ම පැහැදිලි වේ.
ඒ නිසා නව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටිනුයේ පදක්කම් දිනාගත හැකි මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට සාධාරණයක් ඉටු කරන ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකා කන්ඩායමට පත්කර ඇති කළමනාකරුගේ ක්‍රියා කලාපය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරමින් ඔහුට එරෙහිව චෝදනා වේ නම් එම ගැටලුවලට නිසි පරිදි විසඳුම් යොදන ලෙසද අප ඉල්ලා සිටින්නෙමු. එසේ නොමැති නම් මාධ්‍ය ඉදිරියේ පවසන සංදර්ශන වචනවලින් මෙරට ක්‍රීඩාවට නම් කිසිදා සුගතියක් අත්නොවනු ඇත.